HIV භීතිය: අධ්‍යාපන ඇමතිගේ 'ප්‍රකාශය හෙලා දකිනවා'

කුලියාපිටියේ දරුවාගේ මව එච්අයිවී ආසාදිතයකු යයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කළ ප්‍රකාශය ගුරු විදුහල්පති සංගම්වල දැඩි හෙලා දැකීමට ලක් වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කළ යුතු බවයි ගුරු විදුහල්පති සංගම් අවධාරණය කරන්නේ.

දරුවාගේ මව එච්අයිවී ආසාදිතයකු බව කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට දැනුම් දුන්නේ යයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සෙනසුරාදා පැවසීය.

දරුවාගේ සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කර ඔහු මවගෙන් වෙන් කොට තැබිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

එච්අයිවී හෝ ඒ හා සමාන රෝගී තත්වයක් වැළඳීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමට අධ්‍යාපන බලධාරීන්ට බලයක් නොමැති බවයි ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු කියා සිටියේ.

රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් ඇතැම් රෝගී තත්වයන් පිළිබඳ වෛද්‍යවරුන් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් නොකරන තත්වයක රටේ වගකිවයුතු නිලයක් දරන අධ්‍යාපන අමාත්‍යවරයා කළ ප්‍රකාශය සදාචාර සම්පන්න නොවන බව ඔහු සඳහන් කළේය.

කුලියාපිටිය ප්‍රදේශයේ අනියත එච්අයිවී බියක් පැතිර යාමට ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන්ගේ ක්‍රියා කලාපය මුල් වී ඇති බවයි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ.

අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය

Image caption දරුවාට සහ මවට යහපතක් සිදු කිරීම පමණක් තම අවශ්‍යතාවය වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ

මේ අතර සෙනසුරාදා තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටින්නේ සිය ප්‍රකාශය විකෘති කොට හුවා දක්වමින් මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කිරීමට ඇතැම් පිරිස් ක්‍රියා කරන බවයි.

"ශ්‍රී ලංකාව වැනි රටක පවතින සංස්කෘතිය සහ ජන විඥානය තුළ කාලන්තරයක් පුරා මුල් බැස ගත් ආකල්ප එකවර උඩු යටිකුරු කිරීමට කිසිවකුට හැකියාවක් නැති බව අකමැත්තෙන් වුවද අවබෝධ කර ගත යුතු කටුක යථාර්ථයයි," බවත් නිවේදනයේ සඳහන්.

"මෙවැනි සමාජ සංවේදී සිදුවීම් සඳහා සංයමයෙන් සහ මනා හික්මීමකින් යුක්තව විසඳුම් ලබා දීම සමාජ වගකීම වුවද අද සිදුව ඇත්තේ දරුවා සහ දරුවාගේ මව පිළිබඳ දිගින් දිගටම මාධ්‍යයන්ගෙන් ප්‍රචාරය කිරීම හරහා හණමිටි හා ගතානුගතික අදහස් දරන සමාජ ක්‍රමය තුළ දරුවා සහ මව තවදුරටත් අසරණ වීමයි."

දරුවාට සහ මවට යහපතක් සිදු කිරීම පමණක් තම අවශ්‍යතාවය වී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ.

වෛද්‍ය මතය වී ඇත්තේ අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බවයි.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර