චම්පික සහ රිය අනතුර: 'විමර්ශන පැවැත්වෙනවා'

Image copyright bbc
Image caption යතුරුපැදි කරුවකු අනතුරට හෙළීම සම්බන්ධයෙන් මහා නගර ව්‍යාපෘතිය භාර ඇමති පාඨලී චම්පික රණවකට චෝදනා

යතුරුපැදි කරුවකු අනතුරට හෙළීම සම්බන්ධයෙන් 'මෙගා' මහා නගර ව්‍යාපෘතිය භාර ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

බීබීසී සංදේශය විසින් සිදු කරන ලද විමසීමක දී පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ඉහත කී රිය ගැටුම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි තුනක් ඉදිරිපත් වී තිබෙන බවයි.

ඉන් පැමිණිලි දෙකක් ඇමති පාඨලී චම්පික රණවකට එරෙහිව ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ, ඇමතිවරයාට එරෙහිව එල්ල වන චෝදනාවලට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවරනු ලැබ ඇති බවයි.

අතුරු වාර්තාවක්

එසේම මාර්තු දහ වෙනි දින විට ඒ සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිස්පතිවරයා දැනුම් දී ඇති බවත් පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

මේ අතර ඇමතිවරයාට එරෙහි පැමිණිලි විකෘති කර ඇති බව පවසමින් නීතිවේදියකු විසින්ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු පැවසීය.

අදාළ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරනු ලැබ ඇද්දැයි බීබීසිය විමසනු ලැබුනත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබුණි.

පාඨලී චම්පික රණවක ඇමතිවරයාට එරෙහි පැමිණිලි මගින් ප්‍රකාශ වන්නේ ඔහු විසින් පදවන ජීප් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයකු දරුණු තුවාල ලද අතර ඇමතිවරයා එම ස්ථානයෙන් පළා ගිය බවයි.

ජීප් රථය පැදවූ බවට තමාට එල්ල කෙරෙන චෝදනා පාඨලී චම්පික රණවක ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.