අගවිනිසුරු නිසා 'ජනතා විශ්වාසය ඉහල ගිහින්'

Image copyright Sudath Silva

ගතව ගිය වසර ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉහල යාමට හේතුව අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය වර්ධනය වීම බව මානව හිමිකම් නීතිවේදීහු පවසති.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තාවලට අනුව මහින්ද රාජපක්ෂ පාලනයේ අවසන් වසර වූ 2014 වසර තුල ගොනු කෙරුණු සමස්ත මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව 370 ක් වන අතර, 2015 වසරේ එම සංඛ්‍යාව 471 ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහල ගොස් තිබේ.

එය රටේ මානව හිමිකම් වාතාවරණයේ බිඳ වැටීමක් ලෙසින් බැලූ බැල්මට අර්ථ දැක්විය හැකි වුවත් යථාර්ථය එය නොවන බවයි, මානව හිමිකම් නීතිවේදී සාලිය පීරිස් බීබීසී සංදේශයට පැවසීය.

"මම හිතන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා මාරුවීමත් එක්කම මිනිස්සුන්ට අධිකරණය කෙරෙහි, විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි, මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් තියෙන විශ්වාසය වැඩි වෙලා තියෙනවා," ඔහු පැවසීය.

1998 දී ජීපීඑස් ද සිල්වා අගවිනිසුරු පදවියේ කටයුතු කළ අවස්ථාවේ මේ හා සමාන වාතාවරණයක් මතු වූ බව පවසන ඔහු, දහසකට අධික මූලික අයිතිවාසිකම් ප්‍රමාණයක් ඒ වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ බවත් පෙන්වා දුන්නේය.

පසුගිය වසරේ වැඩිම මුලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිවයි.

එයට අමතරව අධ්‍යාපන සෞඛ්‍ය යන අමාත්‍යංශ වලට එරෙහිවද වැඩි පෙත්සම් සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබේ.

මෙම වර්ධනය සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් නීතිවේදී නාමල් රාජපක්ෂ පවසන්නේ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක ඉවත් කොට මොහාන් පීරිස් පත්කිරීම සහ මොහාන් පීරිස් හිටපු අගවිනිසුරුවරයා අනුගමනය කළ මානව හිමිකම් විරෝධී ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණීමට එකල බියක් පළ කළ බවයි.

මේ අතර මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනට පවතින ඇතැම් විධිවිධාන කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවයි නීතිවේදී සාලිය පීරිස් පවසන්නේ.

උදාහරණයක් ලෙසින් මාසයක් ඇතුලත එවැනි නඩුවක් පැවරිය යුතු බවට පවතින විධිවිධානය මාස තුනක්වත් දක්වා සංශෝධනයට ලක් විය යුතු බව ඔහුගේ අදහසයි.

"අනෙක් නීති ගන්නකොට සාමාන්‍යයෙන් කාලාවරෝධී කාලය අවුරුද්දක් නැත්නම් අවුරුදු දෙකක් වෙනවා. මම හිතන්නේ අයි මූලික අයිතිවාසිකම් කදවීමකට ඒ වගේ කාලයක් ලබාදෙන්න බැරි කියල?".

තමන් අදහස් දක්වන්නේ මානව හිමිකම් නීතිවේදියෙකු ලෙසින් විනා ජාතික මානව හිමිකම් කොමිසමේ සාමාජිකයකු ලෙසින් නොවන බවත් නීතිවේදී සාලිය පීරිස් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර