ආර්ථිකය පවතින්නේ මව්වරුන්ගේ ශක්තිය මතයි - ජනපති

Image caption 'විශේෂයෙන්ම මත් ද්‍රව්‍යවලින් පිරිහුණු සමාජය කාන්තාවන්ගේ, මව්වරුන්ගේ වටිනාකම් ඒ ඇතැම් පිරිමින් දන්නේ නැහැ'

රටේ ජාතික ආර්ථිකය රඳා පවතින්නේ ශ්‍රී ලාංකික මව්වරුන්ගේ ශක්තිය මත බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අම්පාර එච්එම් වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උළෙල අමතමිනුයි.

රටේ සමස්ත කාන්තාවන්ගෙන් සියයට පනස් දෙකක් රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා, කෘෂි ආර්ථිකය නංවාලනු වස් කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය ඉහල මට්ටමක පවතින බවත් පැවසීය.

''තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න වාණිජ සමාජය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න විශේෂයෙන් මිනිසුන්ගේ ආධ්‍යාත්මික බව පිරිහෙනවා. එහිදි හිංසනයට පත්වන්නේ මේ ශ්‍රේෂ්ඨ කාන්තාව, මව නේද?'' ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

''කාන්තාවන්ට සිදු වන හිරිහැර, බොහෝ විට ගෘහස්ථ හිංසනය ගැන කතා කරනවා. විශේෂයෙන්ම මත් ද්‍රව්‍යවලින් පිරිහුණු සමාජය කාන්තාවන්ගේ, මව්වරුන්ගේ වටිනාකම් ඒ ඇතැම් පිරිමින් දන්නේ නැහැ.''

සිංහල, දෙමළ, සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරමින් විවිධ කාන්තා සංස්කෘතික අංගයන්ගෙන් උලෙළ සමන්විත විය.

කාන්තා සහ ළමා කටයුතු භාර ඇමතිනී චන්ද්‍රානි බංඩාර, අමාත්‍ය දයා ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද උළෙලට සහභාගි වූහ.