ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'තාරුණ්‍යයට හෙටක්' කෝ? නාමල්ට ප්‍රශ්නයක්

තමා නායකත්වය තාරුණ්‍යයට හෙටක් සංවිධානය පිළිබඳ පුවත් මධ්‍යයේ පළ නොවන්නේ වර්තමානයේ මතු වෙමින් පවතින ජන උද්ඝෝෂණ හේතුවෙන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය දැන් ක්‍රියාකාරී නැත්තේ රාජ්‍ය සම්පත් යොදගෙන එය පවත්වාගෙන ගිය නිසා බවට ඇතැම් කණ්ඩායම් නගන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සංදේශය විමසූ අවස්ථාවේදී.

''වෙනදා වගේ මාධ්‍ය තුළ අපි තාරුණ්‍යයට හෙටක් සංවිධානය ගැන දකින්නේ නැහැ. මොකද මාධ්‍යට මීට වඩා ජනතා ප්‍රශ්න තිබෙනවා වාර්තා කරන්න. අද කොයි වෙලාවේ කොහේ බැලුවත් උද්ඝෝෂණයක්''

තාරුණ්‍යයට හෙටක් සංවිධානය තවමත් අධ්‍යාපනික ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සංදේශය විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ කරන්නේ විපක්ෂය මර්දනය කිරීමේ වෑයමේ කොටසක් වශයෙන් ආණ්ඩුව මෙවැනි චෝදනා එල්ල කරන බවයි.

නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද රුපියල් කොටි 15 කට අධික මුදලක් යොදවා ‘හෙලිකොප්’ නමැති සමාගමක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

'තාම අධිකරණය හමුවේ වරදකරුවෙක් වෙලා නැහැනේ.මේ කට්ටිය අර මැතිවරණය කාලේ ගෙනාපු චෝදනා ඒ විදිහටම අරගෙන යනවා. අපට ගරු අධිකරණයේ සහාය පමණයි පතන්න තියෙන්නේ' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.

සම්පුර්ණ සාකච්චා සඳහා හඬ පටයට සවන් දෙන්න