බැසිල්ට දැඩි කොන්දේසි මත ඇප

රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය පිළිබඳ චෝදනා පත්‍ර භාර දීමෙන් පසුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කරයි.

බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසයි ඔවුන්ට නියම කර සිටියේ.

එම ඇප කොන්දේසි වලින් එකක් හෝ උල්ලංඝනය කළොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ තබන බවද අධිකරණය විත්තිකරුවන්ට තරයේ අවවාද කළේය.

අදාළ නඩුව අද(බ්‍රහස්පතින්දා) කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍ර භාර දෙනු ලැබූ අතර එහිදී විත්තියේ නීතිවේදීන් අධිකරණයට කියා සිටියේ මෙම චෝදනා පත්‍ර නීතිය ඉදිරියේ බල රහිත බවයි.

මේ පිළිබඳව නඩු විභාගයේ දී මූලික විරෝධතා ඉදිරිපත් කරන බවද එම නීතිවේදීහු ප්‍රකාශ කළහ.

අනතුරුව නඩු විභාගය ජූලි මස 22 වනදා පැවැත්වීමට ද අධිකරණය තීන්දු කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව විත්තිකාර බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා මාධ්‍යවලට අදහස් පල කිරීමෙන් වැලකි සිටි බවයි බීබීසී වාර්තාකරු කියා සිටියේ.

දිවි නැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 150 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණ චෝදනා යටතේයි නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබ තිබෙන්නේ.