සංහිඳියාව ගැන දැනුවත් කළ යුත්තේ දකුණයි - ජනපති

Image copyright Maithripala Sirisena
Image caption 'සංහිඳියාව පිළිබඳ ඉතා අත්‍යවශ්‍ය ලෙස දැනුවත් කළ යුත්තේ දකුණේ ජනතාවයි. දකුණේ ජනතාව තුළ අන්තවාදී පිරිස් විසින් බොහෝ වැරදි අදහස් ඇති කරනවා.'

ජාතික සංහිඳියාව සඳහා යන ගමනට මුල් පියවර තැබිය යුත්තේ උතුරේ ජනතාව නොව දකුණේ ජනතාව යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

සංහිඳියාව ඇති කරනු වස් උතුරු පළාතේ කටයුතු කරන ආයතන දකුණේ ජනතාව දෙස වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේ යාපනයේ අවතැන් ජනයාට ඉඩම් අක්කර හත්සීයක් නැවත බෙදා දීම සඳහා පැවති උත්සවයක් අමතමිනි.

'සංහිඳියාව සඳහා අත්‍යවශ්‍ය ලෙස දැනුවත් කළ යුත්තේ දකුණේ ජනතාවයි. දකුණේ ජනතාව තුළ අන්තවාදී පිරිස් විසින් බොහෝ වැරදි අදහස් ඇති කරනවා.' ජනාධිපතිවරයා කියා සිටියේය`.

සමානාත්මතාව අගයන සැමට එකසේ ජීවත් විය හැකි රටක් ගොඩ නැගීමට එක් වන මෙන් ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා යාපනය,කන්කසන්තුරෙයි සහ තිලිප්පලෙයි යන ප්‍රදේශවලට අයත් අධිආරක්‍ෂිත කලාප වශයෙන් පැවති ඉඩම්වලින් කොටසක් ඒවායේ මුල් අයිතිකරුවන්ට පවරා දුන්නේය.

'මේ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක් නොවෙයි. ඒ අය ඉල්ලන්නේ ඒ අයගේ ඉඩම් ඒ අයට දෙන්න කියලා. එහෙනම් අපි ඒ වගකීම සහ යුතුකම ඉටු කළ යුතුයි.' ජනාධිපතිවරයාකියා සිටියේය.

නව ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව අවස්ථා කීපයකදීම උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත බෙදා දුන් බවත් ඉදිරි මාස කීපය ඇතුළත මුල් අයිතිකරුවන්ට අයත් සියලු ඉඩම් බෙදා දී අවසන් කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

'ඇවිත් බලන්න'

Image copyright Maithripala Sirisena
Image caption 'මේ ගෙවල්වල ඉන්නේ මමවත්, විග්නේශ්වරන් ඇමතිතුමාවත්, ස්වාමිනාදන් ඇමතිතුමාවත් නොවෙයි.'

උතුරේ ඉඩම් බෙදා දීම විවේචනය කරන දකුණේ ඇතැම් පිරිස්වලට උතුරු පළාතේ අවතැන් වූ කඳවුරුවල වෙසෙන අසරණ ජනතාව වෙත පැමිණ ඔවුන් දිවි ගෙවන ආකාරය සියැසින් දැක බලා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

යුද්ධයේ පීඩාවන්ට ගොදුරු වූ සියලු දෙනාට නිවාස ඉදිකර දෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

'මේ ගෙවල්වල ඉන්නේ මමවත්, විග්නේශ්වරන් ඇමතිතුමාවත්, ස්වාමිනාදන් ඇමතිතුමාවත් නොවෙයි. ජනතාව කැමති කුමන ආකාරයේ ගෙයකටද?, ඒ විදිහේ ගෙයක් තමයි අපි හදලා දෙන්න ඕන' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය විසින් රජයට ලබා දී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරේ මුල් පදිංචිකරුවන්ට ඉඩම් අක්කර 7600 ක් අහිමි වී ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ නව ආණ්ඩුව යටතේ ඉන් ඉඩම් අක්කර 3000 ක් මේ වනවිට බෙදා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර