ඇඹිලිපිටිය තරුණයාගේ මළ සිරුර ගොඩ ගැනෙයි

පොලිසිය හා සාදයකට පැමිණ සිටි පිරිසක් අතර හට ගත් ගැටුමකින් අනතුරුව මරුමුවට පත් තරුණයාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගනු ලැබ තිබේ.

සති නවයකට ඉහතදී මිහිදන් කරනු ලැබූ සුමිත් ප්‍රසන්න ජයවර්ධන නමැති එක්දරු පියාගේ සිරුර ඇඹිලිපිටිය නව නගර පොදු සුසාන භූමියේදී නැවතත් ගොඩ ගනු ලැබුවේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සදහායි.

ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉදිරියේ සිරුර ගොඩ ගනු ලැබුණේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරී මඩුල්ලකගේ නිරීක්ෂණ යටතේයි.

ගොඩ ගනු ලැබූ සිරුර මියගිය සුමිත් ප්‍රසන්නගේ බවට ඔහුගේ මව සහ සහෝදරයා විසින් හඳුනා ගනු ලැබිණ.

පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉවත් කරනු ලැබූ අතුණු කොටස් සහ සිරුර බහාලූ පෙට්ටිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙන යනු ලැබුවේ මුද්‍රා තැබීමෙන් අනතුරුවයි.

දැඩි ආරක්ෂාවක්

අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුත් උත්පල ආටිගල සහ අසේල මෙන්ඩිස් යන අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් හමුවේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන්නේ රහස් පොලිසියයි.

අදාළ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි චමින්ද ධර්මරත්න රිමාන්ඩ් භාරයට ගෙන තිබේ.

සාදයකට කඩා වැදුණු ඇඹිලිපිටිය පොලිසියේ සාමාජිකයන් පිරිසක් පොලු වලින් පහරදී විසිනව හැවිරිදි එක් දරු පියා ඉහළ මහලකින් බිමට තල්ලු කර මරා දැමූ බවට සාදයට සහභාගී වූ පිරිස් සහ මිය ගිය අයගේ ඥාතීහු චෝදනා කරති.

මේ අතර පොලිසිය ප්‍රකාශ කරන්නේ මරුමුවට පත් පුද්ගලයා ඉහළ මහලකින් බිමට පැන ඇති බවයි.

මරුමුවට පත් තරුණයාගේ සිරුර ගොඩ ගැනීම අඟහරුවාදා පෙරවරු 06.45 ට පමණ ඇරඹුණු අතර සිය දෙනෙකුට අධික පොලිස් කණ්ඩායමක් සුසාන භූමියේ ආරක්ෂාවට යොදා තිබෙනු දැක ගත හැකි විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර