'හෙට රැළියට අපි යනවා' - වෙල්ගම

Image copyright Welgama FB
Image caption මහජනතාව විසින් තමන් පාර්ලිමේන්තුවට ඒවා ඇත්තේ රජයේ වැරදි ක්‍රියා වලට එරෙහිවීමට බවයි ඔහු පවසන්නේ.

ඒකාබද්ධ විපක්ෂය මගින් බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත විරෝධතා රැලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව සිදු කරන්නක් නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කරයි.

වෙල්ගම මන්ත්‍රීවරයා පවසන්නේ ඒකාබද්ධ විපක්ෂය මගින් අදාළ රැලිය පවත්වනු ලබන්නේ වත්මන් රජයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව බවයි.

"මේක කෙලින්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධව කෙරෙන රැළියක් ඇරෙන්න මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිනම් ජනාධිපති තුමා විවේචනය කරන, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීති රීති විවේචනය කරන එකක් නෙවෙයි," ඔහු පැවසීය.

"ඉතින් මේ නිදහස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට ඒකාබද්ධ විපක්ෂයේ අපිට දීල තියනව වගේම අපිට ආණ්ඩුවට විරුද්ධව රැස්වීමක් තියන්න අයිතිය තියනව," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

'අපි පොල් ගාන්නද?'

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන පක්ෂවල රැස්වීම්වලට සහභාගී වන එම පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මෙන්ම භාණ්ඩාගාරික එස්බී දිසානායක අමාත්‍යවරයාද අනතුරු අඟවා තිබුණි.

ඒ පිළිබඳව විමසූ විට කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ රැස්වීම පිළිබඳව මහලේකම්වරයා නිවැරදිව වටහා ගෙන නැති බවයි. එම රැලියට සහභාගි වීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් විනය විරෝධී ක්‍රියාවක නිරත නොවන බවයි, ඔහු අවධාරණය කරන්නේ.

"අපිව පාර්ලිමේන්තුවට පත් කරල තියෙන්නෙ වැරදි දෙයක් තියනව නම් විවේචනය කරන්නනෙ. මහජනතාව අපි යවල තියෙන්නෙ ඒකට. ඉතිං ඒක අපි කරන්නෙ නැතිනම් මොන එහෙකටද අපි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? පොල් ගාන්නද අපි ඉන්නෙ?," යනුවෙන්ද හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

බ්‍රහස්පතින්දා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර