'ගෙවල් හදන්න ගඩොල් එපාද?'- මැටි කර්මාන්තකරුවන්

Image caption පන්නල සිට නගරයේ සිට දිවෙන මාර්ග මුළු මනින්ම අවහිර වී ගමනාගමන කටයුතු වලට බාධා ඇතිවිය

පන්නල නගරයේ දී උද්ඝෝෂණයක නිරත වූ වයඹ පළාතේ පාරම්පරික වැලි මැටි කර්මාන්ත කරුවන් විසින් පන්නල පිහිටි ගාමිණී ජයවික්‍රම පෙරේරා ගේ නිවස වටලනු ලැබිය.

අද බදාදා පෙරවරු නවයට පමණ මේ උද්ඝෝෂණය ආරම්භ වූයේ දන්කොටුව සින්ගක්කුලිය දේවාලයේ දේව කන්නලව්වක්ද සිදු කිරීමෙන් අනතුරුවයි. උද්ඝෝෂකයන් වාහන පෙළපාලියකින් පන්නල නගරයට පැමිණ නගරය වටා ඇති සියලු මාර්ග අවහිර කිරීම හේතුවෙන් පන්නල සිට කොළඹ, කුරුණෑගල , මිගමුව , හා කුලියාපිටිය යන නගර වෙත දිවෙන මාර්ග මුළු මනින්ම අවහිර වී ගමනාගමන කටයුතු වලට බාධා ඇතිවිය.

පැරණි රජ දවස සිට පැවත එන උළු ,ගඩොල් කර්මාන්තයට අවශ්‍ය වන ප්‍රධානතම අමුද්‍රව්‍ය වන මැටි ලබා ගැනීමට ඇති ගැටළු විසදා ගැනීම තම උද්ඝෝෂණයේ ප්‍රධානතම අරමුණ බව වයඹ පළාතේ පාරම්පරික වැලි මැටි කර්මාන්ත කරුවන් ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුෂ්ක විජේසිංහ පැවසිය

මේ වන විට මැටි වැලි කැනීමේ දී හා ප්‍රවාහනයේ දී පනවා ඇති නීති රීති ලිහිල් කළ යුතු බවද ඔහු වැඩි දුරටත් පැවසිය .

මැටි ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් මේ වන විට විශාල උළු ,ගඩොල් හිගයක් පවතින බවද මෙහිදී කියැවුණු අතර උළු ගඩොල් නිෂ්පාදකයන් , කම්කරුවන් හා වැලි මැටි ප්‍රවාහකයන් ද අද පැවති උද්ඝෝෂණයට එක්ව සිටියහ.

මේ උද්ඝෝෂණය හේතුවෙන් පන්නල නගරයේ සියලු දෛනික කටයුතු වලට අද දිනයේ බාධා එල්ල විණි.

උද්ඝෝෂකයන් විසිර ගියේ ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍ය වරයාගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙකු වන අජිත් ධර්මරත්න පැමිණ සාකච්චාවක් ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දීමෙන් පසුයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර