ශ්‍රී ලංකාවට ආධාර දෙගුණ කරනවා - යුරෝපා සංගමය

Image copyright Ravi Karunanayake Facebook

ඉදිරි වසර කිහිපය තුල ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍යාධාර දෙගුණ කරන බව යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින යුරෝපා සංගමයේ කොමසාරිස් නෙවින් මිමිකා ඒ බව නිවේදනය කළේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 43.7 ක මූල්‍ය ප්‍රදානයක් සහ තාක්ෂණික ආධාර ලබාදීමේ ගිවිසුම් තුනකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

"ගෙවී ගිය වසර 20ක පමණ කාලය තුළ යුද්ධයෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන්, සුනාමියෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් අපි උපකාර කළා," නෙවින් මිමිකා පැවසීය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක යහපාලනය සහ ප්‍රතිසංධාන වැඩපිළිවෙළ පිළිබඳව යුරෝපා සංගමය සතුටට පත්වන අතර, එබැවින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විශ්වසනීය කොටස්කරුවකු වීමට යුරෝපා සංගමය සූදානම් බවත් ඔහු පැවසීය.

"2014 - 2020 කාලය තුළ අප ලබා දෙන සහාය දෙගුණ කිරීමට තීරණය කරල තියෙනවා. ඒ අනුව එම කාලය තුළ යුරෝ මිලියන 210 ප්‍රදානයන් වගේම තාක්ෂණික සහාය ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා."

යුරෝපා සංගමය සමඟ අත්සන් තැබුණු ගිවිසුම් පිළිබඳව ඒ අවස්ථාවේ අදහස් දැක්වූ මුදල් අමාත්‍ය රවි කරුණානායක: "ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාත්හි වඩාත් පසුගාමි දිස්ත්‍රික්කයන්හි ඒකබද්ධ ග්‍රාමීය සංවර්ධනය සඳහා වන සහාය වැඩසටහන වෙනුවෙන් යුරෝ මිලියන තිහක්, ශ්‍රී ලංකාවේ වෙළෙඳාම ආශ්‍රිත සහාය සඳහා වූ වැඩසටහන වෙනුවෙන් තවත් යුරෝ මිලියන 8ක මුදලක් සහ ඊට අමතරව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත තාක්ෂණික සහාය ලබාදීමට යුරෝ මිලියන 5.7 ක් වටිනා මේ අනුව ප්‍රදානය කෙරුනා."

ගෙවී ගිය වසර එකොළහක කාලය තුළ යුරෝපා සංගමයේ සහාය නොමැතිවීම ශ්‍රී ලංකාවට හොඳින්ම දැනුණ බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වාසය තබා මෙසේ යළිත් සහාය දීමට ඉදිරිපත්වීම පිළිබඳව ස්තුතිය පළ කළේය. මීට වසර කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ ඉවත් කෙරුණු ජීඑස්පී සහනය යළි ලබා දෙන මෙන් ද අමාත්‍යවරයා යුරෝපා මණ්ඩල දූත මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය.

"ජීඑස්පී සහනය යළි ලබාගැනීම පිණිස අප දරන උත්සාහයට දිය හැකි සියලු සහාය අපි බලාපොරොත්තු වෙනවා. මොකද වෙළඳාම ඉතාමත්ම වැදගත්. ආධාරවලට වඩා වෙළඳාමයි අපේ අපේක්ෂාව. ඒ නිසා යුරෝපා වෙළඳපොළට ඇතුළුවීමට අපට ආධාර කිරීම අපි ඉතා අගය කරනවා."

ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක්ද අවස්ථාවට එක් වී සිටියහ.