ඔබට බැරිනම් රට මට දෙන්න - මහින්ද

Image copyright Wimal Weeravansa

2005 වසරේ තමා රටේ පාලන බලය ලබා ගන්නා විට අභියෝග පහකට මුහුණ දී සිටි බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ අද (17) කොළඹ හයිඩ් පිටියේ පැවැත්වුන ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ ජන රැලිය අමතමිනි.

ආණ්ඩුව දෝෂ දර්ශනය ලක් කරමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ඔහු බලයට පත් වෙන විට රට ආහාර අර්බුදයකට,සුනාමි ව්‍යසනයකට,තෙල් අර්බුදයකට,ආහාර අර්බුදයකට සහ ත්‍රස්තවාදී අර්බුදයකට මුහුන දී සිටි බවයි සඳහන් කළේ.

එවැනි තත්වයක් හමුවේ පිටරට මත රඳා නොසිට රට සහලින් සංවර්ධනය කිරීමට සහ කොටි සංවිධානය විනාශ කර දැමීමට තමන් සමත් වූ බව කියා සිටි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා තම පාලනය තුල මහජන සහනාධාර කප්පාදු නොකළ බවයි කියා සිටියේ.

ණය ලැයිස්තුවක්

තමා රට ණය කළ බවට ආණ්ඩුව එල්ල කරන චෝදනා වලට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ තමා විසින් ගන්නා ලද සහ වත්මන් ආණ්ඩුව වසරක් ඇතුළත ගෙන ඇති ණය ලැයිස්තුවක් කියවමින් මෙම රජය ගත් ණය වලින් කිසිවක් සිදු කර නැති බවයි කියා සිටියේ.

තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ස්වාධීන අපක්ෂපාතී අධිකරණයක් ගැන අදහස් දක්වමින් සිය පවුලේ සාමාජිකයන් සිර ගත කරනු ලැබීම ගැනත් සඳහන් කළ අතර එහෙත් එමගින් තම දේශපාලන ගමන නතර කල නොහැකි බවයි අවධාරණය කළේ.

දේශපාලන ගමන

‘ආණ්ඩුවට රට පාලනය කිරීමට බැරි නම් යළි තමාට රට භාර දෙන මෙන්’ ඉල්ලීමක් ද කරමිනුයි මහින්දරාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිය කතාව නිම කළේ.

විපක්ෂය විසින් සංවිධානය කරන ලද මෙම රැස්වීමට සහභාගී වුනොත් විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දීමක් කර තිබුනත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද ඊට සහභාගී වූහ.