රවිරාජ් ඝාතනය; ආරක්‍ෂක භටයන් සහ කරුණා සගයන් මහාධිකරණයට

Image copyright AFP

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) තීන්දු කළේය.

එම අපරාධය පිළිබඳ මූලික විභාගය සිදු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු පොලිස් නිලධාරියෙකු සහ කරුණා පාර්ශවයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව රහස් පොලිසිය විසින් චෝදනා පත්‍ර ඉදිරිපත් කරනු ලැබ ඇත.

සිය මූලික විභාගයෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අද සිය තීන්දුව දෙමින් කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බවයි.

Image copyright AFP
Image caption රවිරාජ් පවුලේ සාමාජිකයන්

ඒ අනුව අදාළ සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට නියෝග කළේය.

පළා ගිය සැකකරුවන්

නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන කරුණා පාර්ශවයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා මේ වන විට අධිකරණය මග හැර විදේශයකට පළා ගොස් ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව ඔවුන් අත් අඩංගුවට ගන්නා මෙන් දන්වා ශ්‍රී ලංකා අධිකරණය ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කරනු ලැබ ඇත.

පසුගිය 2006 වසරේ නාරාහේන්පිට යුද හමුදා රෝහල ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ට වෙඩි තබා ඝාතනය කෙරුණ අතර ඉහත කී සැකකරුවන්ට එරෙහි නඩු විභාගය මහාධිකරණය ඉදිරියේ ආරම්භ කෙරෙනු ඇත.