අපි ණය ගත්තේ ගිය ආණ්ඩුවේ ණය ගෙවන්න -මුදල් ඇමති

මත්තල ගුවන් තොටුපොළ සහ කටුනායක අධිවේගී මාර්ගය ඉදි කරනු ලැබීමට මහින්ද රාජපක්ෂ පාලනය විසින් ගෙන ඇති ණය සහ ඒවා වැය කරනු ලැබ ඇති ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති ගිණුම් වල පරස්පර විරෝධී තත්වයක් ඇති බව මුදල් ඇමති රවි කරුණානායක පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් රට මුහුණ දී තිබෙන ණය අර්බුදයට වගකිව යුත්තේ තම පාලනය නොව වත්මන් රජය බවට චෝදනා කළ අතර ඊට ප්‍රතිචාරය පළ කිරීම සඳහා කැඳවූ මාධ්‍ය හමුවකදීයි මුදල් ඇමතිවරයා එම ප්‍රකාශය කළේ.

ගෙන ඇති ණය සහ වැය කරනු ලැබ ඇති මුදල් ප්‍රමාණයන් අතර පවතින වෙනස සංඛ්‍යා ලේඛන සහිතව විස්තර කළ මුදල් ඇමතිවරයා එම මුදල් වැය කරන ලද ආකාරය අපැහැදිලි බවත් එම සියලු ණය රජයක් හැටියට ගෙවීමට වත්මන් රජයට සිදු වී ඇති බවයි කියා සිටියේ.

අධික පොලියක්

අධික පොලියකට ගනු ලැබ ඇති ණය සහ ප්‍රකාශිත ගිණුම් වල දැක්වෙන මුදල් ප්‍රමාණයන් තමන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව සඳහන් කරන මුදල් ඇමතිවරයා සිදු වූ දෙයක් දැන ගන්නට නොමැති මුදල් වලට සිදු වූ දේ ප්‍රකාශයට කරන ලෙස මහින්ද රාජපක්ෂ පාලනයට කියා සිටින බවයි වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

Image copyright bb

තවදුරටත් අදහස් දක්වමින් මුදල් ඇමතිවරයා සඳහන් කළේ ‘වත්මන් රජයත් ණය ලබා ගත් අතර එම ණය ගනු ලැබුණේ කලින් රජයේ ණය ගෙවීම සඳහා මිස වෙනත් කටයුතු සඳහා නොවන’ බවයි.

එහෙත් නව ආණ්ඩුවේ පාලනය තුළ එම සියළු ණය බර සාමාන්‍ය ජනයා මත පටවන්නේ නැති බවත් ඇමති රවී කරුණානායක පවසයි.

පසුගිය ආණ්ඩුව යටතේ බංග්ලාදේශයෙන් ගෙන් වූ හාල් මගින් සිදු වූ පාඩුව හා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුවද ගෙවන්නට සිදු වී තිබෙන්නේ වත්මන් රජයට බවයි මුදල් ඇමති රවී කරුණානායක පෙන්වා දුන්නේ.