පරණගම කොමිසමෙන් 'විසඳුමක් නෑ'

Image caption පරණගම කොමිසම අගතියට පත් පිරිස මුලා කිරීම සඳහා කටයුතු කරන්නක් බවටයි සුන්දරම් චෝදනා කරන්නේ

අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති කොමිසම හෝ වෙනත් කිසිම ආයතනයකින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් වෙත සාධාරණය ඉටුවන අයුරින් වාර්තාවක් හෝ මෙතෙක්‌ ඉදිරිපත් වී නැති බව අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සුන්දරම් මහේන්ද්‍රන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ජාත්‍යන්තර විද්වතුන් සහ සිවිල් සංවිධාන මෙන්ම අතුරුදහන්වුවන් ගේ ඥාතීන් ද සමග එක් වී ඔවුනට යුක්තිය හා සාධාරණය ඉටුකරගත හැකි නව යාන්ත්‍රණයක් සකසා ගැනීම වෙනුවෙන් පැවති හමුවක් පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දක්වමිණි.

දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් මෙන්ම ලංකාව තුළ ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළුව පනහකට අධික පිරිසක් මෙම හමුවට සහභාගි වූ බවයි ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් කිසිවකු සහභාගි නොවූ නමුත් මෙම සාකච්ඡාව පිළිබඳව රජය දැනුවත්ව සිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ගෝතමාලාව

මෙම හමුවට සහභාගි වූ ජාත්‍යන්තර විද්වතුන් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන් ගෝතමාලාව වැනි රටවල් වලදී අනුගමනය කළ ක්‍රමවේදයන් පිළිබඳව ඡායාරුප සහිත නිදර්ශන ඉදිරිපත් කරමින් ඩීඑන්ඒ තාක්ෂනය ඔස්සේ මළ සිරුරු හඳුනාගැනීම සහ එසේ හඳුනාගත් සිරුරු ඥාතීන්ට භාර දීම වැනි දෑ පිළිබඳව සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.

ගෝතමාලා රජය ඒ පරීක්ෂණ සඳහා සහය ලබා දී ඇති බව එම විද්වතුන්ගේ දේශනා වල දී පැහැදිලි වූ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ හමුදා දිනපොත් ආදිය පරීක්ෂා කොට වැරදිකරුවන් හඳුනාගැනීමට පවා ඔවුනට නිදහස තිබී ඇති බවයි.

ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කොමිසම ගෝතමාලාවේ කොමිසම මෙන් සාධාරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව සිතන්නේදැයි සංදේශය ප්‍රශ්න කළ විට ඔහු පැවසුවේ දැනට ලංකාවේ ක්‍රියාත්මක වන අතුරුදහ්න්වුවන් පිලිබඳ කොමිසම අගතියට පත් පිරිස මුලා කිරීම සඳහා කටයුතු කරන්නක් බවයි.

'මුලාකිරීමක්'

“ව්‍යසනයට මුහුණ දීපු ඒ ජනතාව මුලා කරලා රවට්ටන පිළිවෙතක් තමයි පරණගම කොමිසමේ තියෙන්නෙ. පරණගම මහත්තය එක එක අවස්ථා වල එක එක විදියට වාර්තාව ඉදිරිපත් කරනව," ඔහු පැවසීය.

"පරස්පර වාර්තා තමයි එයා ඉදිරිපත් කරන්නෙ. මොකද කලින් කියල තිබුණ හමුදාව මේකට කෙලින්ම මැදිහත්වෙලා තියන නිසා දඬුවම් කරනව කියල. තුන්වෙනි වතාවට යාපනයේ දී වාර්තාව සකස් කරනකොට කියල තියනව හමුදාව ප්‍රශ්න කරන්න බැහැ කියල."

අතුරුදහන්වුවන්ගේ ඥාතීන් සියළු දෙනාම මෙම පරණගම කොමිසමේ ක්‍රියා කලාපය හෙළාදකින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් සාධාරණ විමර්ශන ක්‍රියාදාමයක් නොපවත්වන බවට සහ කොමිසමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් තුල පැහැදීමක් නොමැති බවට එල්ල වන චෝදනා කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු මැක්ස්වල් පරණගම මීට ඉහතදී ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර