ජංගම ගිලන් රථ රැකියා සියල්ල ශ්‍රී ලාංකිකයන්ට - ඉන්දීය මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නැංවීමට යෝජිත ජංගම ගිලන් රථ සේවය ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය කෙරෙන බව ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා පවසයි.

අද (19) මහනුවර සංචාරයක නිරත වූ මහ කොමසාරිස්වරයා මල්වතු මහ නාහිමියන් සහ අස්ගිරි අනු නා හිමියන් මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනුයි එම ප්‍රකාශය කළේ.

ඉන්දියාවේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කරනු ලැබීමට යෝජිත ජංගම ගිලන් රථ සේවය සහ ECTA ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පිළිබඳවත් මහ කොමසාරිස් වයි.කේ. සිංහා සිය අදහස් පළ කළේය.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පළමුවෙන්ම අදහස් පළ කළේ දැනට ශ්‍රී ලංකාවේ ඇතැම් සංවිධාන වල විරෝධයට හේතු වී ඇති ජංගම ගිලන් රථ සේවය පිළිබඳවයි.

දේශීය කාර්ය මණ්ඩලයක්

ජංගම ගිලන් රථ සේවය ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීමක් අනුව ක්‍රියාවට නංවනු ලබන වැඩ පිළිවෙලක් යයි සඳහන් කළ මහ කොමසාරිස්වරයා ආරම්භයේ දී එය දකුණු සහ බස්නාහිර පලාත්වල රෝගීන් වෙනුවෙන් නොමිලේ ක්‍රියාවට නංවන බවයි කියා සිටියේ.

එම ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ පුහුණුව ලබා දීම සහ පරිපාලනය ගැන පැහැදිලි කළ මහ කොමසාරිස් වයි.කේ. සිංහා ඊට අනුයුක්ත කෙරෙන රියැදුරන් හෙද හෙදියන් සහ අතිරේක වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ශ්‍රී ලාංකිකයන් වන බවයි පවසන්නේ.

බඳවා ගනු ලබන ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය හයිද්‍රාබාද් නගරයේ දී පුහුණු කර සේවය සඳහා යොදා ගන්නා අතර එම වැඩ පිළිවෙලට සහභාගී කෙරෙන ඉන්දීය කාර්ය මණ්ඩලය අධීක්ෂණ සහ හෙද මධ්‍යස්ථානයේ පාලන කටයුතු වලට සීමා වෙන බවයි මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ.

නොමිලේ සේවය

Image caption මහ කොමසාරිස් සිංහා(මැද)

ඉන්දියාවේ ප්‍රාන්ත දාහතක දැනට සාර්ථකව ක්‍රියාත්මක වෙන ජංගම ගිලන් රථ සේවය ‘හාවර්ඩ්’ සරසවියේ පවා ප්‍රශංසාවට ලක් වී ඇතැයි සඳහන් කළ මහ කොමසාරිස් වයි.කේ. සිංහා ‘ශ්‍රී ලංකාවේ සමාරම්භක පියවරේ දී දකුණු සහ බස්නාහිර පළාත් වල ක්‍රියාවට නංවන එය සහමුලින්ම නොමිලේ ක්‍රියාවට නැංවෙන වැඩ පිළිවෙලක් වන බවයි සඳහන් කළේ.

ගිලන් රථ සේවය සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ හැත්තෑ පහක් ආරම්භයේ දී ප්‍රදානය කරන බවත් මහ කොමසාරිස් වයි.කේ. සිංහා පවසයි.

මහනුවර මාධ්‍ය හමුවේ දී ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම(ECTA) පිළිබඳවත් ප්‍රශ්න යොමු කෙරුණ අතර වේගයෙන් දියුණු වෙමින් පවතින ඉන්දියාවේ දර්ශනය අසල්වැසි රටවල් ද සමඟ එම සංවර්ධන මාවතේ ගමන් ගැනීම වන බවයි ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහාගේ පිළිතුර වුණේ.

එක්ටා ගිවිසුම

අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ඉල්ලීමක් අනුව දෙරට අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම(ECTA) පිලිබඳ මූලික දළ සැලැස්මක් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉන්දීය ආණ්ඩුවට ලැබී ඇති අතර මේ වන විට එය හදාරමින් ඇති බවයි මහකොමසාරිස් වරයා පවසන්නේ.

‘යෝජිත ගිවිසුම ගැන දෙරට අතර සාකච්ඡා තවමත් පටන් ගෙන නැහැ. අපි තවමත් ඉන්නේ ආරම්භක අවස්ථාවේ. මේ කාරණයේ දී දෙරට ඉතාම සහයෝගයෙන් කටයුතු කරනවා’ මහ කොමසාරිස් වයි.කේ. සිංහා පවසයි.

ඕනෑම ගිවිසුමක් දෙරටේ ජනතාවට සහන සැලසෙන එකක් විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.