බෝපත්තලාව කිරිගල්පොත්ත රක්ෂිතයේ ගින්නක්

Image caption තලවකැලේ සෙන් ක්ලෙයාර් දිය ඇල්ල ආසන්නයේ හට ගත් ගින්න

බෝපත්තලාව කිරිගල්පොත්ත රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන තිබේ.

අක්කර තුන්සීයක පමණ ප්‍රදේශයක් ගින්නට හසු වී ඇති බවයි ඩයගම පොලිසිය කියා සිටියේ.

ගින්න පැතිරීම මැඩපැවැත්වීම සඳහා හමුදා භටයන් එකසිය පනහක පිරිසක් කැඳවා ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

යම් කිසි පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබා ඇතැයි සැක කරන බවයි පොලිසිය පවසන්නේ.

මේ දිනවල පවතින වියළි කාලගුණය සමග කිසියම් පිරිසක් රක්ෂිතවලට ගිනි තබන බවත් ඒ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ජල පෝෂක ප්‍රදේශවලට අයත් අක්කර පන්සීයක් පමණ විනාශ වී ඇති බවත් මාධ්‍යවේදී රංජිත් රාජපක්ෂ සංදේශයට කියා සිටියේය.

තවත් ගින්නක්

තලවකැලේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සෙන් ක්ලෙයාර් දිය ඇල්ල ආසන්නයේ තවත් ගින්නක් හට ගෙන ඇති බවත් ඔහු පැවසීය.

හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන රථ ඒ වෙත පැමිණ ඇති නමුත් ගින්න හට ගත් ස්ථානයට ළඟා වීමට අපහසු වී ඇති බවයි මාධ්‍යවේදී රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.

මේ අතර පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රදේශවලින් වාර්තා වේ.

මේ දිනවල පවතින දැඩි උණුසුම හේතුවෙන් කෘෂිකර්මාන්ත, ව්‍යාපාර ඇතුළු දෛනික කටයුතු සිදු කර ගැනීමට දුෂ්කර වී ඇති බවයි ඇතැමුන් සංදේශයට කියා සිටියේ.

අධික උෂ්ණත්වය දරා ගැනීමට නොහැකිව හමුදා සෙබළකු මිය යෑමේ සිද්ධියක් පොළොන්නරුවෙන් වාර්තා විය.

විජලනය හේතුවෙන් ඉහත කී මරණය සිදු වී ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර