HIV: ගම දැනුවත් කිරීමට 'පරිවර්තනයක් අවශ්‍යයි'

Image copyright Getty
Image caption 'ගමේ මිනිස්සු අදටත් ආකර්ෂණය වන ක්‍රම තිබෙනවා'

එච්අයිවී සහ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ග්‍රාමීය ප්‍රජාවන් දැනුවත් කිරීම සඳහා යොදා ගනු ලබන ක්‍රමවේදයේ පරිවර්තනයක් සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග පවසයි.

ඒ පිළිබඳ මේතාක් සිදු කරන ලද දැනුවත් කිරීම් ග්‍රාමීය ප්‍රජාව අතර කොපමණ දුරක් ගමන් කොට ඇත්දැයි යන්න සම්බන්ධයෙන් යළි විමසා බැලිය යුතු බවයි වෛද්‍ය දයානාත් රණතුංග පෙන්වා දෙන්නේ.

''මොකද අපේ සමස්ත සමාජය තුළ තිබෙනවා ගමකට පණිවුඩයක් කියන සම්ප්‍රදායික ක්‍රම. අන්තර්ජාලය හෝ සමාජ වෙබ් අඩවි හරහා සිදු නොවන, ගමේ මිනිස්සු අදටත් ආකර්ෂණය වන ක්‍රම තිබෙනවා," ඔහු පැවසීය.

ගම තුළ ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන සමිති, මරණාධාර සමිති, ආගමික ස්ථාන මුල් කර ගත් සමිති වැනි සිවිල් සංවිධාන හරහා ග්‍රාමීය ජනතාව වෙත පිවිසීමට ඇති ඉඩකඩ වැඩි බවයි වෛද්‍ය දයානාත් රණතුංග සඳහන් කළේ.

'අලුත් ප්‍රතිපත්ති'

එච්අයිවී සහ ලිංගාශ්‍රිත රෝගවලින් වැළකී සිටීමේ ක්‍රමවේදයන් මෙන්ම එවැනි රෝග ආසාදනය වූ පුද්ගලයන් ඉදිරියේ සමාජයේ අනෙකුත් කොට්ඨාශ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවත් ජනතාව දැනුවත් කළ යුතු බව ඔහු පැවසීය.

එච්අයිවී හෝ වෙනත් ලිංගාශ්‍රිත රෝගයක් ආසාදනය වූ පුද්ගලයකු සම්බන්ධයෙන් සිවිල් සමාජයේ සහ රාජ්‍ය යන්ත්‍රණයේ මැදිහත් වීම කොයි ආකාරයෙන් සිදු විය යුතුද යන්න පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම වෛද්‍ය දයානාත් රණතුංග පෙන්වා දෙයි.

එච්අයිවී ආසාදිත දරුවකු පාසලකට ඇතුළත් කර ගැනීමේදී සහ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයත් වෛද්‍යවරයා අවධාරණය කරයි.

"ඒ සඳහා චක්‍රලේඛන, ප්‍රතිපත්ති සම්පාදනයක් සිද්ධ වෙන්න අවශ්‍යද?, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වශයෙන් විශාල මැදිහත් වීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා," එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර