බාලවයස්කාරියන් රට පැටවීමේ ජාවාරමක් දැලේ

Image copyright AFP

විදේශ නියුක්ති කාර්යාංශ බලධාරීන් සහ පොලිසිය විසින් ඊයේ (23 වැනිදා) විදෙස් රැකියා වලට පිටරට යැවීම සඳහා බලහත්කාරයෙන් තරුණියන් රඳවා ගෙන සිටි ස්ථානයක් වැටලීමට ලක් කොට රඳවා ගෙන සිටි තරුණියන් හත් දෙනෙකු බේරා ගැනීමට සමත් වූ බව විදේශ නියුක්ති කාර්යාංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් මරදාන ප්‍රදේශයේ තාවකාලික ලැගුම් පොලක රඳවා සිටි තරුණියන් බේරා ගැනීමෙන් පසු මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවයි කාර්යාංශය ප්‍රකාශ කළේ.

සංදේශය සමග සාකච්ඡාවකට එක්වූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ උපුල් දේශප්‍රිය කියා සිටියේ අඩු වයසේ පසු වන තරුණියන් බලහත්කාරයෙන් රඳවා ගෙන කූට ලේඛන සකසා සෞදි අරාබියේ සේවයට යැවීමේ ජාවාරමක් ඉතා පුළුල් ලෙස ලංකාවේ සිදු වෙමින් පවතින බවයි.

ඉතා අඩු වැටුපකට මැදපෙරදිග සේවය කිරීම සඳහා මෙලෙස තරුණියන් රවටා ගෙන තාවකාලික ලැගුම්හල් වෙත ගෙන එන්නේ විදෙස් රැකියා ඒජන්සි වෙනුවෙන් කටයුතු කරන තැරැව්කාර අතරමැදියන් බව පෙන්වා දුන් නීතීඥ උපුල් දේශප්‍රිය පැවසුවේ මෙම තරුණියන් කොළඹට බැහැර ඉතා ඈත ගම්මාන වල සිට රැගෙන එන බවයි.

පුළුල් ජාවාරමක්

සිදු කරන ලද වැටලීමෙන් මුදා ගත් තරුණියන් හය දෙනෙකුම වයස අවුරුදු දාහතත් විස්සත් අතර වයසේ පසු වන අතර ලියාපදිංචි කළ ඒජන්සි වලට ලැබෙන කොන්ත්‍රාත් ගණනට අවශ්‍ය තරම් තරුණියන් සොයා දෙන ලෙස මෙම ‘සබ් ඒජන්ට්ස්’ නැතහොත් තැරව්කාර අතරමැදියන්ට භාර දෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Image copyright getty images

මාස ගණනක් තිස්සේ මෙම තරුණියන් බලහත්කාරයෙන් රඳවා ගැනීමට හේතුව ඔවුන් අඩු වයසේ වීම නිසා කූට ලේඛන සැකසීමට කල් ගත වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊට අමතරව වැටලීමේදී අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් තිදෙනාව අද දිනය තුල අලුත් කඩේ අධිකරණ වෙත යොමු කිරීමට නියමිත බවයි විදේශ නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක සඳහන් වෙන්නේ.