ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් නෑ - රනිල්

Image copyright pmindia

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුද හරහා පාලමක් තැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවට පල වන වාර්තා වල සත්‍යතාවක් නොමැති අතර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර කිසිදු සාකච්ඡාවක් නොවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේ දී උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහගෙන් විමසා සිටියේ ඉන්දියාවේ ප්‍රවාහන සහ අධිවේගී මාර්ග පිළිබඳ අමාත්‍ය නිතින් ගඩ්කාරී විසින් ඉන්දීය පාර්ලිමේන්තුවට මෙම ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළ බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය නම් සිය රටේ අගමැතිවරයා ලෙස ඒ වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු දුන් අගමැතිවරයා පැවසුවේ එම ප්‍රකාශය පිළිබඳ තමන් සහ ඉන්දීය අමාත්‍යවරයා දැනුවත් අතර එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බව තමන්ට ප්‍රකාශ කළ හැකි බවයි.

Image copyright PTI
Image caption ඉන්දියාවේ ප්‍රවාහන සහ අධිවේගී මාර්ග පිලිබඳ අමාත්‍ය නිතින් ගඩ්කාරී

කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රවාහන සහ අධිවේගී මාර්ග පිලිබඳ අමාත්‍ය නිතින් ගඩ්කාරී පසුගිය දෙසැම්බර් මාසයේ සිය පාර්ලිමේන්තුව අමතමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුද හරහා පාලමක් සහ උමං මාර්ගයක් ගොඩනැගීමටත් එම ව්‍යාපෘතිය තුලින් බංග්ලාදේශය, ඉන්දියාව සහ භූතානය යා කරමින් අධිවේගී ගමන් මාර්ගයක් ගොඩනැගීමටත් ඉන්දියාව සැලසුම් කරන බව කියා සිටියේ යැයි හින්දු පුවත් පත වාර්තා කර තිබුණි.

එම වාර්තාවේ දැක්වූ පරිදි අමාත්‍ය නිතින් ගඩ්කාරී වැඩි දුරටත් පවසා තිබුනේ ආසියානු සංවර්ධන බැංකුව මේ වන විටත් ඉන්දියාවේ රාමේශ්වරම් සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා මුහුද හරහා දිවෙන පාලම ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීමට සුදානම් බවයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට ව්‍යාපෘතියේ යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි සමග පැවති හමුවකදී මෙහි විස්තර පිළිබඳ තමන් සාකච්ඡා කළ බවයි.

ව්‍යාපෘතියේ සක්‍යතාව මැනීමේ කටයුතු

ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ඉන්දියා පාලම ව්‍යාපෘති යෝජනාවේ වැය කිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි විසිහතර දහසක් බවයි ඔහු කියා සිටියේ.

ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘ඇක්ට් ඊස්ට් පොලිසි’ (Act East policy) වැඩසටහනේ පරමාර්ථය වූ දකුණු ආසියාතික සහ ගිනිකොන දිග ආසියාතික රටවල් ඉන්දියාව සමග පවත්නා සම්බන්ධතා සවිමත් කිරීමේ එක පියවරක් ලෙසයි අමාත්‍ය නිතින් ගඩ්කාරී ඉන්දු ලංකා පාලම ව්‍යාපෘතිය සිය පාර්ලිමේන්තුවට හඳුන්වා දී තිබුණේ.

හින්දු පුවත්පත විසින් 2015 දෙසැම්බර් මාසයේ පළ කළ එම වාර්තාවට අමතරව අද දිනයේ (24 වැනිදා) ශ්‍රී ලංකා මාධ්‍යද ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රටවල් දෙකම ඉතා උනන්දුවෙන් සිටින බව වාර්තා කර තිබේ.

ඊට අමතරව ජාත්‍යන්තර මාධ්‍ය අමතා කළ කතාවකදී ඉන්දියානු ප්‍රවාහන සහ අධිවේගී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගීමට යෝජිත පාලම් ව්‍යාපෘතියේ සක්‍යතාව මැනීමේ කටයුතු පසුගිය වසරේ අගභාගයේ සිට සිය රට විසින් ආරම්භ කරනු ලැබූ බවයි.