වතු සේවක වැටුප්: 'රුපියල් 770ක් ප්‍රමාණවත් නැහැ'

Image caption ‘රුපියල් 770 ක් ළමයින්ට ඉගෙන ගන්න, ඇඳුම් ගන්න, කෑම ගන්න ප්‍රමාණවත් නැහැ.’

වතු කම්කරු දෛනික වැටුප රුපියල් එක සිය පනහක් වැනි සුළු මුදලකින් ඉහළ දැමීමට ගත් තීන්දුවට එකඟ නොවන බව වතු වෘත්තීය සමිති පවසති.

වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේ කියා සිටියේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් 770ක් දක්වා වැඩි කිරීමට වතු පරිපාලනය එකඟ වී ඇති බවයි.

දැනට රුපියල් 620ක දෛනික වැටුපක් ලබන වතු කම්කරුවන් කියා සිටින්නේ ඉහත කී වැටුප් වර්ධකය පවතින ජීවන වියදම හා සැසඳීමේදී කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

අවම වැටුප රුපියල් 1000ක් වත් විය යුතු බවයි වතු කම්කරුවන්ගේ අදහස වී ඇත්තේ.

'රුපියල් 770 ක් ළමයින්ට ඉගෙන ගන්න, ඇඳුම් ගන්න, කෑම ගන්න ප්‍රමාණවත් නැහැ.' වතු සේවක පලනියාන්ඩේ සුබ්‍රමනියම් කියා සිටියේය.

'වෙනත් රැකියා සඳහා'

Image caption 'මිනිස්සු පිට වැඩට යනවා. දවසකට රුපියල් 1200 ක් පඩි හම්බ වෙනවා කෑමත් එක්ක.ඒ නිසා මිනිස්සු වතු දාලා යනවා'

වැටුප් ප්‍රශ්නය මුල් කර ගනිමින් වතු සේවකයන් වෙනත් රැකියා සොයා යෑමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවත් ඔහු පැවසීය.

'ඒ නිසා වතු වැහෙන්න යනවා. මිනිස්සු පිට වැඩට යනවා. දවසකට රුපියල් 1200 ක් පඩි හම්බ වෙනවා කෑමත් එක්ක.ඒ නිසා මිනිස්සු වතු දාලා යනවා.' ඔහු සඳහන් කළේය.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ඝනපති කනකරාජ් කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් වතු සමාගම් මේ දක්වා නිල ප්‍රකාශයක් කොට නොමැති බවයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලින් ඉල්ලා ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බවත් ඔහු පැවසුවේය.

පසුගිය වසරක කාලයක සිට දෛනික වැටුප් වර්ධකයක් ඉල්ලා සිටින මුත් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බවට වතු කම්කරුවෝ සහ වතු වෘත්තීය සමිති මැසිවිලි නගති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර