මන්ත්‍රී වැටුප වැඩි කළ යුතුයි - දයා ගමගේ

Image copyright Daya Gamage

මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දීමට යෝජනා වූ අතිරේක දීමනාව ලබා දීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඊයේ (28 වෙනිදා) අම්බලන්ගොඩ ශ්‍රී ධීරාලංකාර දහම් පාසලේ ස්වර්ණ ජයන්ති සැමරුම සහ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට සහභාගී වෙමිනි.

සමාජ සේවාවේ නිරත වීමේ අරමුණින් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් වෙත දැනට ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බව ද සිය කටයුතු ඉටු කිරීමේ දී එම මුදල් ප්‍රමාණවත් නොවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් මන්ත්‍රීවරුන් අයථා ආදායම් මාර්ග වෙත යොමු වීමේ නරක අත්දැකීම් අප සතු බව ද අමාත්‍ය දයා ගමගේ කියා සිටියේය.

Image copyright Daya Gamage

අමාත්‍යවරයා පවසන්නේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කාර්යාල පවත්වා ගෙන යාමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට ද සේවක වැටුප් ගෙවීම් සහ විදුලි, ජල බිල්පත් ගෙවීමේ දී සිදු වන වැය පියවා ගැනීමට ඔවුන් වෙත තවත් අතිරේක මුදලක් ලබා දීමේ වරදක් නොමැති බවයි.

ඇතැම් මන්ත්‍රීවරයන් තම ප්‍රතිපාදන වලින් මෙන්ම තම පුද්ගලික වැටුපෙන් ද සමාජ සේවා කටයුතු සිදු කරන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ සැබෑ ජනතා සේවකයින් දේශපාලනයට ආකර්ෂණය කර ගැනීමට නම් ඒ සඳහා ආකර්ෂණීය වරප්‍රසාද ලබා දිය යුතු බව සිය අදහස බවයි.

එසේ නොවන්නේ නම්, දේශපාලනය යනු ඇති-හැකි එක් පංතියකට පමණක් සීමා වන විෂයයක් වනු ඇති බවයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ වැඩි දුරටත් කියා සිටියේ.