ශ්‍රී ලංකාවට සෆාරි උද්‍යානයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි උද්‍යානය හම්බන්තොට, රිදියගම දී අද දින (28 වෙනිදා) විවෘත කරන ලදි.

වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම උත්සව අවස්ථාවට අමාත්‍ය සජිත් පේමදාස ඇතුළු මැති ඇමතිවරුන් කීප දෙනෙකු සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනෝද්‍යාන රැසක (උඩවලවේ, යාල, වැනි) සෆාරි ජීප් රථ යොදා ගනිමින් ජනතාවට සතුන් නැරඹීමට මේ වන විටත් අවස්ථාව හිමිව තිබේ.

කෙසේ වෙතත් මිනිසුන්ගේ මැදිහත්වීමෙන් සතුන්ව විශාල භූමි වපසරියකට කොටු කර ඔවුන්ට නිදැල්ලේ ජීවත් වීමට ඉඩ හරින අතරම සත්ව ගහණය පාලනයටත්, ඔවුන් බෝ කිරීමටත් මැදිහත් විය හැකි විශේෂ සෆාරි උද්‍යානයක් පිහිටවූ පළමු අවස්ථාව මෙයයි.

2008 දෙසැම්බර් මාසයේදී රිදියගම සෆාරි උද්‍යානය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබුණු අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2600කට අධික මුදලක් වැය කිරීමටයි ඇස්තමේන්තු කර තිබුණේ.

අක්කර පන්සීයක භූමි භාගයකින් යුතු සෆාරි උයන සිංහ කලාපය, ලෝක සත්ත්ව කලාපය සහ ආසියානු අලි කලාපය යනුවෙන් ප්‍රධාන අංශ තුනකින් සමන්විතයි.

අප්‍රිකානු සිංහයයෝ

මේ වන විට විවෘත කිරීමට සුදානම් කර ඇති සිංහ කලාපය අක්කර තිස්පහක වපසරියක පැතිර තිබෙන අතර එහි අප්‍රිකානු සිංහයන් නම දෙනකු රැඳවීමට කටයුතු යොදා තිබේ.

ආසියානු අලි කලාපය අක්කර පනස්හතරක ප්‍රදේශයකද ශාක භක්ෂක ලෝක සත්ව කලාපය අක්කර අසූවක භූමි ප්‍රමාණයකද විහිදී තිබේ.

ඊට අමතරව උද්‍යානයට පැමිණෙන පිරිස් වලට අවශ්‍ය සේවා සැපයීමට සහ සතුන්ට ප්‍රතිකාර ලබා දිය හැකි පශුවෛද්‍ය රෝහලක් වෙනුවෙන් අක්කර දාසයක ප්‍රදේශයක් වෙන් කර ඇති බවත් වාර්තා වෙයි.

විවෘත කෙරුණු නව රිදියගම සෆාරි උද්‍යානයේ වන සත්ව වර්ග විසි දෙකක් සහ සතුන් දෙසීයකට අධික ප්‍රමාණයක් මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් සුදානම් බවයි උයනේ කළමනාකාරිත්වය පවසන්නේ.