පේරාදෙණිය සරසවි සිසුන්ගේ පෙත්සම විභාගයට

Image copyright iusfl

පසුගිය පාලන සමයේ කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතා දැක්වූ පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහර දී ඔවුන්ට බරපතළ තුවාල සිදු කිරීම තුලින් පොලිසිය ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේ දැයි විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

2014 වසරේ ජුනි මස 17 වෙනිදා සිදු වූ පොලිස් පහර දීමකට එරෙහිවයි අදාළ සිසුන් මෙම නඩුව පවරා තිබෙන්නේ.

සිද්ධියෙන් තුවාල ලද සිසුන් දහතුන් දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් පසුවයි අග විනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මෙම නියෝගය කළේ.

මෙවැනි සිද්ධීන් සුළුවෙන් නොතකන මෙන් රජයේ නීතිවේදිනියට පැවසූ අග විනිසුරුවරයා අනතුරුව පෙත්සමේ වග උත්තර කරුවන් ලෙස නම් කර තිබූ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළේය.

පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදියා ප්‍රකාශ කළේ අවම බලය භාවිතා කළ බව පවසමින් පොලිසිය අදාළ සිසුන්ට පහර දී හිසට ඇස්වලට බරපතළ තුවාල සිදු කොට අවසානයේ දී රිමාන්ඩ් භාරයට පත් කළ බවයි.

පොලිසියේ මෙම ක්‍රියා කලාපය තුළින් මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දෙන මෙන්ද පෙත්සම් කාර පාර්ශවයේ නීතිවේදියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම සිද්ධියේ ඉදිරිපත් වී ඇති කරුණු දෙස බලන විට මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇති බවට විශ්වාස කළ හැකි තොරතුරු පවතින බවත් පැවසීය.

ඒ අනුව පෙත්සම ඉදිරියටත් විභාග කිරීමට අවසර දෙන බවයි විනිසුරුවරු ප්‍රකාශ කළේ.