නවක වදය: 'වගකීම විශ්ව විද්‍යාල පද්ධතිය භාර ගතයුතුයි'

Image caption මුහුණේ ඉරියව් ආදී සියළු දේ මගින් බියගැන්වීම නවකවදයට ඇතුළත් වන බවයි ආචාර්ය දංගොල්ල පවසන්නේ

නවක වදය හේතුවෙන් ළමුන් විශ්ව විද්‍යාල හැර යනවා නම් එහි වගකීම විශ්ව විද්‍යාල පද්ධතිය භාර ගත යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක ආචාර්ය අශෝක දංගොල්ල පවසයි.

පළමු වසරට ඇතුල්වන සියලුම ළමුන් පිලිබඳ පරීක්ෂාවෙන් සිටීම අත්‍යවශ්‍ය බව පවසන ඔහු මේ වසරේ සිට එවැනි ක්‍රමවේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි අවධාරණය කළේ.

“පලවෙනි අවුරුද්දට ඇතුල්වෙන හැම ළමයා ම ඉවර වෙලා යනකල්ම ‘මොනිටරින් සිස්ටම්’ එකක් තියෙන්නෙ ඕන දැනගන්න කොහෙද ගියේ කියල හැම දවසෙම. එහෙම ක්‍රමයක් නැති නිසා තමයි සමහර ළමයි සරසවි එන එක නැවතිලා සෑහෙන දවසක් යන කම් අපි දන්නෙ නැත්තෙ” යනුවෙනුයි ඔහු පැවසුවේ.

සරසවියට පැමිණෙන ළමුන් වැඩිහිටියන් වශයෙන් සැලකුව ද පාසැල් අධ්‍යාපනය හමාර කරන ඔවුන්ට වැඩිහිටියන් වීමට අවස්ථාවක් නොලැබෙන බව පවසන ආචාර්යවරයා අළුත් පරිසරයකට පැමිණ අතරමං ව සිටින ඔවුන්ගේ මනසට ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ ක්‍රියාකලාපයන් ඔරොත්තු නොදෙන බවයි සඳහන් කළේ.

සනාථ කිරීම

මුලික පරීක්ෂණය ලෙස සාමාන්‍යයෙන් සිසුන් බලාපොරොත්තු වන්නේ එක් එක් සිසුවාට චෝදනා පත්‍රයක් යවා ඔහු හෝ ඇය නවක වදය දීමට වරදිකරුවාද නිවරදිකරුවාද යන්න විමසා ගුරුවරුන් ගේ සාක්‍ෂි සහිතව ළමුන් ඉදිරිපිට දීම සනාථ කිරීම බවයි ආචාර්ය අශෝක දංගොල්ල පවසන්නේ.

නමුත් මෙය විශ්වවිද්‍යාලයක් තුළ සිදු නොවිය යුත්තක් සේම එසේ කිරීමට සරසවි පාලන අධිකාරිය බැඳී නැති බවයි ඔහු පවසන්නේ.

“ අනිවාර්යයෙන් ම ‘එන්ක්වයරි’ එකක් කරලා අනෙකුත් ළමයින්ට ඔප්පු කරල පෙන්වන්න, සාක්‍ෂි සහිතව, පීඨාධිපති වත් විනය පාලකවත් බැඳිලා නැහැ. මේ ‘එන්ක්වයරි ප්‍රොසෙස්’ ඒක හරියට මේ ළමයි දන්නෙ නැති හින්දයි මේක වෙලා තියෙන්නෙ. ඇත්තටම මේ රීති පිළිබඳව හැම කොලයක් ම ළමයින්ට දීල තියනව විශ්ව විද්‍යාලයට ඇතුළු වෙන කොට. කියව ගන්නෙ නැතිව ඒ ගොල්ලො හිතනව පිරිස් බලෙන් ම නීතිය යටපත් කරන්න පුළුවන් කියල” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Image caption නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන සිසු සිසුවියන් හැම වසරක ම සිටින බවයි ඔහු පවසන්නේ

බියගැන්වීම

නවක වදය හේතුවෙන් විශ්ව විද්‍යාලයට පැමිණීම නවත්වන සිසු සිසුවියන් හැම වසරක ම සිටින බව පවසන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා පවසන්නේ ඔවුන් ඉතා දරුණු ලෙස බියගැන්වී සිටින හෙයින් මේ තත්වය ඇතිවන බවයි ඔහු පවසන්නේ. ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ බියගැන්වීම් වලට ඔරොත්තුදීමට හැකි ලමුන් එම බියගැන්වීම් නොතකා සරසවියට නොකඩවා පැමිණෙන නමුත් පවුල් පසුබිම හෝ ජීවන රටාව අනුව එවැනි මානසික පීඩනයක් දරා ගැනීමට නොහැකි ළමුන් විශ්ව විද්‍යාල ජීවිතය අත්හරින බවයි ඔහුගේ අදහස වන්නේ.

කායික වදහිංසා නොකළ ද ජ්‍යෙෂ්ඨ සිසුන් කතාකරන විලාශය දරා ගැනීමට ඇතැමුන්ට නොහැකි බව පවසන ආචාර්ය දංගොල්ල පවසන්නේ ‘සැරෙන්’ කතාකිරීම ද ‘නවක වදයට’ ඇතුලත්වන බවයි. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් සිතන්නේ නවක වදයට ඇතුළත් වන්නේ කායික වදහිංසා දීම පමණක් බව අවධාරණය කරන ආචාර්යවරයා, කතා කරන වචන, ඒවායේ තීව්‍රතාවය, මුහුණේ ඉරියව් ආදී සියළු දේ මගින් බියගැන්වීම නවකවදයට ඇතුළත් වන බවයි සඳහන් කළේ.

පැමිණිලි නැහැ

මෙසේ පීඩාවට පත් වන ළමුන්ගේ දෙමව්පියන් හෝ මේ පිළිබඳව පැමිණිලි නොකරන්නේ ඒ මගින් අදාළ තත්වයන් යහපත් අතට නොහැරෙන බව ඔවුන් දන්නා නිසා බවයි ආචාර්ය දංගොල්ල පවසන්නේ.

“තමුන්ට වෙච්ච පාඩුව විඳ ගෙන පාඩුවේ ඉන්නවා මිසක් තව තව කරදර වලට පැටලෙන්න ඒ ගොල්ලො කැමති නැහැ. විශේෂයෙන් ගැහැණු ළමුන්ගේ දෙමාපියන්” යනුවෙනුයි සංදේශය යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර