ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වෛද්‍ය ආඥා පනත 'සංශෝධනය කිරීම අවශ්‍ය නෑ'

විදේශීය වෛද්‍යවරුන් රට තුලට ගලා එම වැළැක්වීම සඳහා වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මේ මොහොතේ මතු වී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා ඒ බව කියා සිටියේ නියමිත සුදුසුකම් නොමැති විදේශීය විශේෂඥ වෛද්‍යවරුන් රට තුලට පැමිණීම වැළැක්වීමේ අටියෙන් වෛද්‍ය ආඥා පනත සංශෝධනය කළ යුතු බවට ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන යෝජනාව පිළිබඳව ප්‍රතිචාර දක්වමිනුයි.

එසේ නමුත් ETCA ගිවිසුමට අත්සන් තැබුවහොත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ඔහු බීබීසී සංදේශයට පැවසීය.

විදේශීය වෛද්‍ය උපාධිධරයන් ශ්‍රී ලංකාව තුළ නිසි සොයා බැලීමකින් තොරව සේවයේ යෙදීමට ඇති ඉඩකඩ සහ දොරටු වසා දැමීමේ අරමුණින් වෛද්‍ය ආඥා පනත සංශෝධනය කළ යුතුව ඇතැයි ආණ්ඩුවේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරයි.

'සීමිත පිරිසක්'

එහෙත් වසරක් තුල ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දහයත් පහළොවත් අතර ඉතා සීමිත අගයක් ගන්නා බැවින් තවමත් එවැනි අවශ්‍යතාවක් මතු වී නැති බවයි වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා කියා සිටියේ.

යමි කිසි පෞද්ගලික රෝහලකට විදෙස් විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය අවශ්‍ය වී තිබේ නම් ඒ සඳහා වෙනත් රටකින් අයදුම්පත් කැඳවීමට පෙර ඒ බව දේශීය පුවත්පත්වල තෙවරක් පළ කළ යුතු බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන සුදුසුකම් සහ පුහුණුව සම්බන්ධයෙන් ඔවුන්ගේ රටවලට අයත් වෛද්‍ය සභාවන්ගෙන් තොරතුරු ලබා ගන්නා බවත් එසේ නොමැති නම් පශ්චාත් උපාධි ආයතනය ඔස්සේ ඔවුන් පිළිබඳ සොයා බලන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය ටෙරන්ස් ගාමිණී ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.