ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද්ධය පැවති ප්‍රදේශවලින් යුද උපකරණ හමුවීම 'සාමාන්‍ය දෙයක්'

යුද සමයේ සැඟවූ වූ සහ අත්හැර දමා ගිය පුපුරන ද්‍රව්‍ය සහ යුද උපකරණ යුද්ධය පැවති ප්‍රදේශවලින් හමු වීම සාමාන්‍ය තත්වයක් බව කියා සිටින ආරක්ෂක අමාත්‍යංශය එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව පවසයි.

ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඒ බව සඳහන් කළේ යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි.

'යුධ සමයේ තැන්වල දමා ගිය ඒවා පසුගිය කාලයෙත් හමු වුනා. දැනුත් හමු වෙනවා.'

බුද්ධි අංශ හා ආරක්ෂක හමුදා ඒ පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වන බවයි ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ.

බදාදා උදෑසන චාවකච්චේරි පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවක දී ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මරාගෙන මැරෙන ඇදුම් කට්ට්ලයක්, පැති බෝම්බ 04ක්, කිලෝග්‍රෑම් 12ක බරින් යුතු ටීඑන්ටී පුපුරන ද්‍රව්‍ය අඩංගු පාර්සල් 03ක්, මිලිමිටර් 09 වර්ගයේ පතොරොම් 100ක් හමුව තිබේ.

එල්ටීටීඊ

ඒ සම්බන්ධයෙන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය පවසන්නේ.

නිවසින් පළා ගොස් සිටි සැකකරු කිලිනොච්චියේදී පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වෙමින් පවතින බවට සැක මතු වන බවයි ඉහත කී සොයා ගැනීම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පැවසුවේ මෙවන් සිද්ධියක් යොදා ගනිමින් ජාතික ආරක්ෂාව පිළිබඳ විශාල ගැට‍ළුවක් ඇති බව මවා පෑමට යමෙක් උත්සාහ කරන්නේ නම් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එම පුද්ගලයා සතු අවබෝධය පිළිබඳ ගැට‍ළුවක් මතු වන බවයි.