වකුගඩු ජාවාරම: ජාත්‍යන්තර පොලිසිය හරහා පරීක්ෂණ

Image copyright AFP

මෑතක දී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ජාතිකයින් අට දෙනාගෙන් හය දෙනෙකුගේම වකුගඩු ඉවත් කර තිබෙන බව අද (සිකුරාදා) පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වනු ලැබ තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වන වකුගඩු ජාවාරම පිළිබඳ ඉන්දීය මාධ්‍ය තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව පොලිසිය මෙම ඉන්දියානු ජාතික සැකකරුවන් අට දෙනා සති කිහිපයකට පෙර කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබීය.

පසුව අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අධිකරණ නියෝග මත විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි.

Image copyright THINKSTOCK

එහිදී සැකකරුවන් අට දෙනාගෙන් හය දෙනෙකුගේම වකුගඩු ඉවත් කර තිබූ බව වෛද්‍යවරු ප්‍රකාශ කළ බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.

මෙම සැකකරුවන් භාරයේ තිබී ඉන්දීය රජයට අයත් ලේඛන සහ මුද්‍රා දෙසීයකට අධික සංඛ්‍යාවක් හමුවූ බව පැවසූ පොලිසිය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා පරීක්ෂණ පවත්වන බවයි කියා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ලබන අට වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ.