සාම්පූර් තාප බලාගාරයට එරෙහිව යළිත් මහජන උද්ඝෝෂණ

Image caption සාම්පූර් තාප බලාගාරයට එරෙහිව

සාම්පූර් තාප බලාගාරයට එරෙහිව එක්රැස් වූ ප්‍රදේශයේ කණ්ඩායමක් විරෝධතා ව්‍යාපාරයක නිරතව තමන් මුහුණ දී සිටින අනතුරුදායක තත්වය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙන සංදේශයක් මුත්තූර් ප්‍රාදේශීය ලේකම්වරයාට භාර දුන්හ.

මුත්තූර් හරිත ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද එම මහජන උද්ඝෝෂණ ව්‍යාපාරයට දහසක පමණ පිරිසක් සහභාගී වෙමින් සිටියහ.

භාෂා තුනෙන් ම ලියැවුන පුවරු රැගත් ජනතාව කියා සිටියේ ‘සාම්පූර් ගල් අඟුරු තාප බලාගාර සැලැස්ම හකුළා ගන්නා’ ලෙසයි.

‘මෙම තාප බලාගාරය ඉදි කරනු ලැබීම නතර කර ගැනීම සඳහා අපි විවිධ ක්‍රම වලින් උත්සාහ ගත්තා. ඒත් එය අසාර්ථක වුනා. මෙය ඉදිරියේ දී බරපතළ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අපේ ඊළඟ පරම්පරාවට . ඒ නිසා අපි දැන් මේ තාප බලාගාරයෙන් ඇති වෙන හානිය පිළිබඳව සාමාන්‍ය ජනයාට තේරුම් කරලා දෙනවා’ සාම්පූර් හරිත ව්‍යාපාරයේ සාමාජික මොහමඩ් බුහාරි පවසයි.

යළි පදිංචි කිරීම

‘අපේ පරිසරය පත් වෙන විනාශය පිළිබඳව රජයටත් ව්‍යාපෘතිය භාර සමාගමටත් අපි කරුණු පැහැදිලි කරනවා. මේ ප්‍රදේශයේ ජනතාව මේ ව්‍යාපෘතියට විරුද්ධ බව අපි බලධාරීන්ට පැහැදිලි කර දෙනවා’ මොහමඩ් බුහාරි වැඩිදුරටත් සඳහන් කරයි.

මේ ව්‍යාපෘතිය ආරම්භයේ දී එහි ප්‍රතිවිපාක තේරුම් ගනිමින් ප්‍රදේශයෙන් ඉවත් වූ ජනතාව දැන් එහි යළි පදිංචි වෙමින් සිටින බවත් හරිත ව්‍යාපාරයේ සාමාජිකයා පෙන්වා දෙයි.

‘දෙමළ මිනිස්සු අනාථ වෙලා කඳවුරු වලයි හිටියේ. ඒ නිසා ඒ කාලයේ බලාගාරය අවට කවුරුවත් හිටියේ නැහැ. ඒ කාලයේ පරිසර වාර්තාවක් මගින් ප්‍රකාශ වුනා, ජනතාව නැති නිසා ව්‍යාපෘතිය පෙරට ගෙන යන්න පුළුවන්ය කියල. නමුත් ජනාධිපතිතුමා නැවත පදිංචි කරවීම් පටන් ගත්තම ජනතාව දැන් ප්‍රදේශයේ පදිංචි වෙනවා. දැන් පරිසර ප්‍රශ්නයක් තියෙනවා’ මොහමඩ් බුහාරි කියා සිටියි.

රැකියා ගැටළු

එම ජනතාව ගොවියන් සහ ධීවර කාර්මිකයන් වන හෙයින් බලාගාරය නිසා ඔවුන්ට අනාගතයේ රැකියා ප්‍රශ්න වලට ද මුහුණ දීමට සිදු විය හැකි බවට මොහොමඩ් බුහාරි අනතුරු අඟවයි.

බලාගාරය අවට කිලෝමීටර් පහළොවක කලාපයක ජනතාවට තාප බලාගාරය නිසා පරිසර ගැටළු වලට මුහුණ දීමට සිදු වෙන බව පවසන සාම්පූර් හරිත ව්‍යාපාරයේ සාමාජික මොහමඩ් බුහාරි ත්‍රිකුණාමල, මුත්තූර් සහ කින්නියා නගරත් සේරු නගරයත් අලි ඔලුව සහ දෙහිවත්ත ආදී ප්‍රදේශ රැසක්ම තාප බලාගාරය නිසා පරිසර ව්‍යසනයට ගොදුරු වෙන බව පවසයි.