මුස්ලිම් ළමා විවාහ: 'නීතිය නොවේ ආකල්ප වෙනස් කරමු'

Image copyright Getty
Image caption මුස්ලිම් සමාජය තුල අවුරුදු දහසයට අඩු දැරියන් විවාහ කෙරෙන්නේ ඉතාමත් සුළු පිරිසක් බව අන්බේරියා හනීෆා පවසයි

බාල වියේ දැරියන් විවාහ කර දීම මුස්ලිම් නීතියට අනුව නීතිවිරෝධී නොවන නමුත්, නීතිය සංශෝධනය කිරීමට වඩා අවශ්‍යවන්නේ එය වැළැක්වීමේ වැදගත්කම මුස්ලිම් සමාජයට පහදාදීම බව මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදය පවසයි.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව අවුරුදු දහ අටට අඩු මුස්ලිම් තරුණ තරුණියන්ට විවාහ වීමට අවසර දීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා පැවති වැඩමුළුවකදී අවධානය පල කර තිබුණි.

වයස දහ අට සම්පූර්ණ නොවූ දැරියන් විවාහ කර දීම තමා අනුමත නොකරන නමුත් එවැනි විවාහ වැළැක්වීමට නීති මාර්ගයෙන් කටයුතු කිරීම එයට විසඳුමක් නොවන බවයි මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදයේ අන්බේරියා හනීෆා සංදේශයට කියා සිටියේ.

"නීතියෙන් නැතුව සමාජය දැනුවත් කොට අපි මේ විවාහ නැවැත්විය යුතුයි," ඇය සඳහන් කළාය.

'සංකීර්ණ තත්වයක්'

කෙසේ නමුත් වයස අවුරුදු දාහතට අඩුවෙන් විවාහ වන මුස්ලිම් දැරියන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉතා අඩු අගයක් ගන්නා බවයි අන්බේරියා හනීෆා කියා සිටියේ.

"2007 දත්ත අනුව අවුරුදු දහසයට අඩු ළමයි පහළොවක් වගේ තමයි අවුරුද්දකට බඳින්නේ. දහසයත් දහ අටත් අතර නම් යම්කිසි ප්‍රමාණයකට සිද්ධ වෙනවා."

Image caption "අම්මා කෙනෙක් විදියට මම විරුද්ධයි ඒත් මේක සංකීර්ණ ප්‍රශ්නයක්."

කෙසේ නමුත් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට අනුව වයස දහසයට අඩු දැරියක විවාහ කර ගැනීම සහ ලිංගික සම්බන්ධතා පැවැත්වීම අපරාධයක් නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ.

"ලංකාවේ නීති හතරක් තිබෙනවා. තේසවලාමේ, උඩරට නීතිය, මුස්ලිම් අයට බලපාන නීතිය, පොදු නීතිය. පොදු නීතියට යටත් වන අයට දණ්ඩ නීති සංග්‍රහය අදාළයි. අපරාධ දණ්ඩ නීති සංග්‍රහයේ විවාහයට අයත් කොටස මුස්ලිම් අයට අදාළ වෙන්නේ නැහැ," මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදයේ අන්බේරියා හනීෆා පැවසීය.

"පොඩි ළමයි කසාද බන්දලා දිය යුතු බව මම කියන්නේ නැහැ. නමුත් මේ නීතියේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒක හරිම සංකීර්ණ තත්වයක්."

මේ අතර මුස්ලිම් ප්‍රජාව අතර බාල වයස් විවාහ සිදු වන බව වාර්තා වී ඇති බව පවසන ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, ඒ සම්බන්ධයෙන් මුස්ලිම් නායකයන් හා අධිකරණ අමාත්‍යංශය සමග සාකච්ඡා කොට විසඳුමකට පැමිණිය යුතු බව බීබීසී සංදේශයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර