ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ECTA වාණිජ ගිවිසුමෙන් 'තොරතුරු දැන ගැනීමේ පනත මනින්න එපා'

තොරතුරු දැන ගැනීමේ පනතේ අඩුපාඩු ඇත්නම් පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඒවා නිවැරදි කර ගත හැකි බව ජනමාධ්‍ය කටයුතු බාර නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසයි.

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශයක් නිකුත් කරන මෙන් ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් ඉදිරිපත් වී තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එවැනි මහජන අවධානයක් යොමු වීම ආණ්ඩුව සතුටින් බාර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමිනුයි.

'මේ පනතේ තිබෙන අඩුපාඩුකම් සකස් කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කිසියම් අදහසක් ඉදිරිපත් කරනවා. එවැනි අදහසක් ලැබීම හොදයි කියලා අපි සිතනවා.' නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව, පෞද්ගලිකත්වය, අපරාධ පරීක්ෂණ සහ විදේශීය වෙළඳ ගිවිසුම් වැනි ක්ෂේත්‍රවලට අයත් තොරතුරු ලබා දීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතෙන් සීමා කොට ඇති බවට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයෝ චෝදනා කරති.

ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම්

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලොව වෙනත් රටවලට අයත් තොරතුරු දැන ගැනීමේ පනත් තුළද එවැනි සීමා පවතින බවයි.

රාජ්‍යයන් දෙකක් අතර වෙළඳ ගිවිසුම් අත්සන් තැබීමේදී ඒ තුළින් ලබා දෙන ප්‍රතිපාදන අපයෝජනයට ලක් වීම වැළක්වීමේ අරමුණින් ඒවායේ ඇතුළත් කොන්දේසි හෙළිදරව් නොකිරීමට රාජ්‍යයන් එකඟ වන බවයි ඔහු පවසන්නේ.

'ඒ ජාතික රාජ්‍යයන් එකඟ වන කරුණු අපිට බැහැ තොරතුරු දැන ගැනීමේ පනතක් ගෙනාවා කියල එලියට දාන්න' ඔහු කියා සිටියේය.

'ECTA' වෙළඳ ගිවිසුම සකස් කිරීමෙන් අනතුරුව එහි ඇති කරුණු පිළිබඳ තොරතුරු දැන ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන බව ජනමාධ්‍ය කටයුතු බාර නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන වැඩිදුරටත් පැවසීය.