එජාප සංශෝධන: 'නියෝජ්‍ය නායක උප, නායක තනතුරුවල වෙනසක් නැහැ'

Image copyright UNP
Image caption සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක යන අමාත්‍යවරුන්ට හිමි පිළිවලින් නියෝජ්‍ය නායක සහ උප නායක තනතුරුවල වෙනසක් සිදු වී නොමැත

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා රැස් විය.

එහිදී පක්ෂ තනතුරුවල සංශෝධන සහ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තීන්දුවලට පැමිණි බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.

සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක යන අමාත්‍යවරුන්ට හිමි පිළිවලින් නියෝජ්‍ය නායක සහ උප නායක තනතුරුවල වෙනසක් සිදු වී නොමැති බවයි ඔහු සඳහන් කළේ.

අමාත්‍ය දයා ගමගේ විසින් දරන ලද ජාතික සංවිධායක ධුරය අහෝසි කොට ඇති අතර ඒ වෙනුවට ඔහුට ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය ලබා දී තිබේ.

ජාතික සේවක සංගමයේ සභාපතිවරයා වශයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කොට ඇති අතර යොවුන් පෙරමුණේ සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පත් කොට ඇත.

ලක් වනිතා පෙරමුණේ සභාපතිනිය වශයෙන් නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ නම් කොට ඇති අතර සහකාර ලේකම්වරු වශයෙන් රුවන් විජේවර්ධන හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරු පත් කොට තිබේ.

ලංකා වතු කම්කරු සංගමයේ සභාපති ධුරය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ලබා දී ඇති අතර තවත් වෘත්තීය සමිති සංගම් දෙකක සභාපති ධුර අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන අමාත්‍යවරුන්ට හිමි වී ඇත.