ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වරාය නගර ව්‍යාපෘතිය අවලංගු කළොත් දඩ?

අගමැති රනිල් වික්‍රමසිංහ චීන රජයේ ආරාධනයක් මත තෙදින නිල සංචාරයක් සඳහා අද සවස(06 වෙනිදා) චීනයේ බෙයිජිං නුවර බලා පිටත් විය.

අගමැතිවරයාගේ චීන සංචාරයේ අරමුණු සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරාගෙන් කරුණු විමසූ විට ඔහු සංදේශයට කියා සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙවර චීනයේ සංචාරය කරන අතරතුර පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද චීන බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකාවට වාසි සහගත වන ආකාරයේ කොන්දේසි මත ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි.

චීන ශ්‍රී ලංකා සම්බන්ධතා නව මානයකට ගෙන ඒම සඳහා චීන ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් අගමැතිවරයා හමුවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉතා වැදගත් සංචාරයක් ලෙස මෙය හැඳින්විය හැකි බව පැවැසූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් රජය කිසි දිනෙක චීන විරෝධී ප්‍රතිපත්තියක නොසිටි නමුත් අපට අවශ්‍ය කර තිබෙන ආයෝජන, ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස ලබා ගත යුතුයි යන මතයේ පිහිටා ක්‍රියා කරන බවයි.

'වැදගත් සංචාරයක්'

පෝට් සිටි ව්‍යාපෘතියේ ඉදිරි ගමන කුමක් වේ දැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිය රජයට තිබූ යම් යම් ගැටළු හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා පරිසරයට මින් ඇති වන බලපෑම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා කොන්දේසි යටතේ එය නැවත ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවසර ලබා දී ඇති බවයි.

පෝට් සිටි ව්‍යාපෘතිය අත්හිටවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල දඩ මුදලක් ගෙවීමට සිදු වී තිබෙන බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ රජයක් වශයෙන් ඒ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති අතර අගමැතිවරයාගේ සංචාරයේ දී එම ප්‍රශ්න විසඳීමට බලාපොරොත්තු වන බවයි.

සබැඳි විෂයයන්