තොරතුරු පනත: ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුව කථානායකට

Image copyright Lanka Business Online

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහස්‍ය තීන්දුව පාර්ලිමේන්තු කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව සඳහන් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශව විසින් පෙත්සම් දෙකක් ඉදිරිපත් කොට තිබිණි.

අදාළ පනත් කෙටුම්පත තුළින් රජය ජාත්‍යන්තරය සමග අත්සන් කරන වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු මහජනයා වෙත සැපයීම තහනම් කර ඇති බවයි පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කියා සිටියේ.

ඒ හරහා මූලික අයිතීන් කඩවීමක් සිදු කොට ඇති බව කියා සිටි පෙත්සම්කරුවෝ ඊට අදාළ වගන්තිය සම්මත කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මේ අතර අදාළ පනත් කෙටුම්පතට සහාය පළ කරමින් තවත් අතුරු පෙත්සම් හතරක්ද අධිකරණයට ඉදිරිපත් විය.

ඉහත කී අතුරු පෙත්සම් ඉදිරිපත් කරමින් පුරවැසි බලය ඇතුළු සංවිධාන කිහිපයක් කියා සිටියේ පනත් කෙටුම්පතේ අන්තර්ගත සියලු වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවයි.

ඒ හේතුවෙන් පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබා දෙන මෙන්ද අතුරු පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර