'හිටපු ජනපති ට ආරක්ෂකයන් 256 ක්' - ආරක්ෂක ලේකම්

Image caption ප්‍රභූ ආරක්ෂාවට යුධ හමුදාව යෙදවීම නිත්‍යානුකූල නොවන බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ

ප්‍රභූ ආරක්ෂාවට යුධ හමුදාව යෙදවීම නිත්‍යානුකූල නොවන නිසා එම වරද නිවැරදි කිරීමට ආණ්ඩුව කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි හමුදා භටයන් ඉවත් කිරීම ගැන පිළිතුරු දෙමිනුයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඒ බව පැවසුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට යුධ හමුදාව විසින් තවමත් ආරක්ෂාව සැපයීම නීති විරෝධී කටයුත්තක් බව තමන් පිළිගන්නා බව ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පැවසුවේ එම වරද නිවැරදි කිරීම සඳහා මේ වන විට කටයුතු සිදු වෙමින් පවතින බවයි.

' හදිසි තත්වයක දී හෝ යුදමය තත්වයක දී හැරෙන්නට යුධ හමුදාව යොදවන්නට නිත්‍යානුකුලව බැහැ, එම නිසා හිටපු ජනාධිපතිතුමාට හා ගෝඨාභය රාජපක්ෂට ලබා දී තිබූ යුධ හමුදා ආරක්ෂකයන් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන්නට අපි තීරණය කළා' යනුවෙන් පැවසූ ඔහු යුධ හමුදාව ඉවත් කිරීම එක් වරම සිදු නොවන බවත් මේ වන විට හිටපු ජනාධිපතිවරයාට යුධ හමුදාව හා පොලිසිය යන අංශ දෙකම එක්ව ආරක්ෂාව සපයන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හිතුවටත් වඩා ආරක්ෂාව

'එක් වරම හමුදාව ඉවත් කරන්න බැහැ, ඒ නිසා මේ වන විට පොලිස් භට කණ්ඩායමක් එතුමාට ලබා දී තිබෙනවා, මේ කණ්ඩායම් දෙක එකට වැඩ කර ඉන් පසු හමුදාව ඉවත් වෙයි, මේ දිනවල එතුමාට හිතුවටත් වඩා ආරක්ෂාව තිබෙනවා, 256 දෙනෙකුගේ' යනුවෙන් ඔහු පැවසීය.

කිසි කෙනෙකුට විශේෂයක් කිරීමට තමන්ට නොහැකි බව පැවසූ ආරක්ෂා ලේකම්වරයා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පවා ආරක්ෂාව සපයන්නේ පොලිසිය පමණක් බවයි සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයාට පමණක් හමුදා ආරක්ෂාව ලබා දීමෙන් හමුදාව දේශපාලනයට යොදා ගන්නවා යන චෝදනාව එතුමාට එල්ල විය හැකි බවයි මෙහි දී අදහස් දැක්වූ රජයේ ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ.

' විශේෂ වරප්‍රසාදයක් හම්බ වෙලා හමුදාව තියා ගෙන දේශපාලනය කරනවා කියන චෝදනාවත් එතුමාට එල්ල වෙන්නේ නැහැ මේ අලුත් තත්වය උඩ' යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.

ඇදුම් කට්ටල 313 ක්

යුද්ධයෙන් පසු ගත වූ වසර 6 තුල මරා ගෙන මැරෙන ඇදුම් කට්ටල 313ක් සොයා ගෙන ඇති බව මෙම අවස්ථාවට එක්ව සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යව්‍යරයා ප්‍රකාශ කළේය.

" 2013/14 වසරේ 18 ක් හමුවුනා, හැබැයි 2016 එකක් හම්බවුනාම ලොකු දේශපාලන ප්‍රශ්නයක් කරන්න හදනවා, ආරක්ෂාව ඉවරයි කියලා, කණගාටුයි ඒ ය ගැන' යනුවෙන් පැවසූ ඔහු රට තුල නිසි ආරක්ෂාවක් නොමැති බව ජාත්‍යන්තරයට ප්‍රකාශ කර ගොඩ ගනිමින් තිබෙන ආර්ථිකය අඩාල කිරීම මෙවන් බොරු ප්‍රචාර කරන අයගේ අරමුණ බවයි අමාත්‍යවරයා අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර