තොරතුරු පනත: 'වෙළඳ ගණුදෙනු ගැන ජනතාව දැන ගත යුතුයි'

Image caption මහජන යහපතේ වැදගත්කම සලකා එම තොරතුරු හෙළිදරව් නොකිරීමෙන් වන හානිය වැඩිනම් එම තොරතුරු හෙළිදරව් කළ යුතු බවයි පනතේ සඳහන් වන්නේ

යම් සංශෝධන ද සහිතව සම්මත කර ගත හැකිනම් යෝජිත “තොරතුරු දැනගැනීමේ පනත” මගින් ජනතාව විසින් පත්කරනු ලැබූ රජයක් රට වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ පිළිබඳව එම ජනතාවට තොරතුරු ලබාගැනීමේ අයිතිය තහවුරු කර දී ඇති බව ‘ට්‍රාන්ස්පෙරන්ට් ඉන්ටර්නැෂනල්’ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු වන ශාන් විජේතුංග පවසයි.

දුරකථනය ඔස්සේ සංදේශය සමග අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත ලෝකයේ හොඳම පනත්කෙටුම් පතක් ලෙස තේරී පත්වී තිබෙන්නේ ද ඒ නිසා බවයි.

දුෂණ වලට එරෙහිව හඬ නගන්නන් (‘විසිල් බ්ලෝවර්ස්’) ආරක්ෂා කිරීම ඇතුළු කරණා ඇතුළත් සංශෝධන හයක් තමන් ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කර ඇති බව පැවසූ ඔහු මෙම පනත පාර්ලිමේන්තුව තුළ විවාදයට බඳුන් කරන අවස්තාවක දී යොදා ගැනීම සඳහා එම සංශෝධන පිළිබඳව තොරතුරු දැනටමත් භාෂා තුනෙන්ම සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත යවා ඇති බවයි සඳහන් කළේ.

ජනතා අයිතියක්

යම් රාජ්‍යයන් අතර රහස්‍ය ගිවිසුම් හා ගණු දෙනු ඇති අතර ඒවා තොරතුරු දැන ගැනීමේ පනතකට ඇතුළත් නොවන බව ද, එසේවුවද, වෙළඳ ගනුදෙනුවක් සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකක් අතර ගණුදෙනුවක් සිදුවීමට පෙර ඒ පිලිබඳ තොරතුරු ජනතාව අතරට යෑම වැළැක්වීම නොකළ යුතු දෙයක්ය යන ස්ථාවරයේ තමන් සිටින බවද ශාන් විජේතුංග පැවසුවේය.

එසේම විනිමය අනුප්‍රමාන හා විදේශ මුදල් හුවමාරු ගණුදෙනු, බැංකු කටයුතු හෝ ණය කටයුතු, විදේශ වෙළඳ ගිවිසුම් හා නීතිපති දෙපාර්තමේන්තුව ආදී ආයතන කිහිපයකට සම්බන්ධ කටයුතු තොරතුරු දැන ගැනීමේ පනත මගින් ආවරණය නොවන බව ගැසට් පත්‍රයේ සඳහන් වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

Image copyright Lanka Business Online
Image caption ආරක්ෂාවට සම්බන්ධ සංවේදී කාරණා තොරතුරු දැනගැනීමේ පනත මගින් ආවරණය නොවන බවයි පැවසෙන්නේ

මේ කරණය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ ශාන් විජේතුංග වැඩිදුරටත් පැවසුවේ ඒ මගින් මතු කොට දක්වා ඇත්තේ විදේශ වෙළඳ ගිවිසුම් පිලිබඳ තොරතුරු දැනගැනීමට ජනතාවට හිමි විය යුතු අයිතිය පිළිබඳව බවයි.

“ඒ හරහා තමයි ETCA ගිවිසුම ගැන රටතුළ සංවාදයක් ඇතිවෙලා තියෙන්නෙ. ඒ වගේ වෙනත් රටවල් සමග ඇතිවන්නාවූ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන්, ඒවායේ සිදුවිය හැකි වාසි අවාසි සම්බන්ධයෙන් කරුණු සාකච්චා කරන්න, වැඩි අවාසියක් සිදුවෙනවානම් ඒ පිලිබඳ රජයන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න ජනතාවට හැකියාවක් අයිතියක් තියෙන්න ඕන” යනුවෙනුයි ඔහු පවසාසිටියේ.

එම කාරණයේ දී එවැනි ගිවිසුමක තොරතුරු පිළිබඳව ජනතාවට දැනගත හැක්කේ තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ බව සඳහන් කළ ඔහු එය ආවරණය කිරීම නොකළ යුත්තක් බවයි ප්‍රකාශ කළේ.

ජාතික ආරක්ෂාව

තොරතුරු දැනගැනීමේ පනතේ අඩංගු කරුණු වලදී ජාත්‍යන්තරව පිළිගත් දෙයක් වන්නේ ආරක්ෂාවට සම්බන්ධ සංවේදී කාරණා තොරතුරු දැනගැනීමේ පනත මගින් ආවරණය නොවන බව පැවසූ ඔහු එහෙත් ආරක්ෂක හමුදාවන් අතින් ගණුදෙනු සම්බන්ධ යම් දුෂණයක්, වංචාවක් වැනි වැරදි දෙයක් සිදු වී ඇත්නම් එම තොරතුරු සිදුවී ඇත්නම් එම තොරතුරු වලට ප්‍රවිෂ්ඨ වීමේ අයිතිය අසුරා නැති බවයි සඳහන් කළේ.

යෝජිත පනතේ හතරවැනි වගන්තියේ සඳහන් ආකාරයට “තොරතුරු වලින් ආවරණය කෙරෙන ආයතන පිලිබඳ සඳහන් වන පළමූ වන උප වගන්තියේ කුමක් සඳහන් වුවත් මහජන යහපතේ වැදගත්කම සලකා එම තොරතුරු හෙළිදරව් නොකිරීමෙන් වන හානිය වැඩිනම් එම තොරතුරු හෙළිදරව් කළ යුතු වන අතර ඒ සඳහා ඇති ඉල්ලීම් ප්‍රතික්ෂේප නොකළ යුතුයි” යන්න අවධාරණය කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

මහ බැංකුව

එසේවුවද විදේශ වෙළඳ ගිවිසුම් ඇතුළු තවත් කාරණා සම්බන්ධයෙන් යම් සංශෝධන කිහිපයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යෝජනා වියහැකි බව එහිදී සංවාදයට බඳුන් වූ කරුණු අනුව පෙනී යන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Image copyright Proprint
Image caption බැංකු කටයුතු හෝ ණය කටයුතු, බදු පැනවීම, මෙන්ම භාණ්ඩ හා සේවා වල මිළ ස්ථාවරව පවත්වා ගැනීම වැනි කරුණු වලට අදාලව යම් වාරණයක් පැනවී ඇති බවයි පැවසෙන්නේ

මහබැංකුවේ කටයුතු පිලිබඳ තොරතුරු ජනතාවට දැනගැනීම මේ මගින් අසුරා තිබේදැයි සංදේශය ඇසූ විට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ මහ බැංකුවේ විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගණුදෙනු, බැංකු කටයුතු හෝ ණය කටයුතු, බදු පැනවීම, මෙන්ම භාණ්ඩ හා සේවා වල මිළ ස්ථාවරව පවත්වා ගැනීම වැනි කරුණු වලට අදාලව යම් වාරණයක් පැනවී ඇති බවයි.

“ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ දීත් ජයම්පති විකරමරත්න මහත්මයා වැනි ව්‍යවස්ථා කටයුතු පිලිබඳ නීති විශාරදයන් තර්ක කළේ එහෙම වාරණයන් තිබුණත් මෙහි සඳහන් වන හතර වැනි වගන්තිය යටතේ ඒ තොරතුරු වලටත් ප්‍රවිෂ්ට වීමේ අවස්ථාව ජනතාවට තියනව කියල” යනුවෙනුයි ශාන් විජේතුංග පවසා සිටියේ.

නීතිපති දෙපාර්තමේන්තුව

“නීතිපති දෙපාර්තමේන්තුව මේ පනතින් ඉවත් කරලා තියනව. ඒ කියන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු ගන්න බැහැ. අපි ඇත්තටම ඒකට විරුද්ධයි. අපි කියන්නෙ මහ බැංකුව වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට ප්‍රවිෂ්ඨ වෙන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕන” යනුවෙන් පැවසීය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර