EU ජනමත විමසුම: බ්‍රිතාන්‍ය ප්‍රධාන පක්ෂ තුනම එකම වේදිකාවේ

  • 2016 අප්‍රේල් 15
Image copyright Getty Images
Image caption දැනට සැලසුම් කර ඇති ප්‍රචාරන වැඩසටහන වෙනුවෙන් පවුම් ලක්ෂ හැත්තෑවක් වියදම් කරනු ඇති බවටයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.

බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයේ රැඳෙනවාද නැතහොත් ඉවත්වනවාද යන්න තීරණය කිරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත ජනමත විචාරණයේ ප්‍රචාරණ වැඩසටහන් අද දිනයේ ආරම්භ විය.

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන වන කොන්සවේටිව්, ලේබර් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ තුනේම මුල් පෙළේ නායකයෝ සිය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ බ්‍රිතාන්‍යය යුරෝපා හවුල තුල රැඳී සිටීම වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.

ඒ අනුව සති දහයක කාලයක් පුරා පැවැත්වීමට නියමිත මෙම ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය පුරා විහිදුනු විවිධ වැඩමුළු සහ රැස්වීම් ඔස්සේ ජනමත විචාරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කරන ජනතාව වෙත සිය මතය, හඬ ගෙන යාමට දේශපාලන මතධාරීන් සහ දේශපාලඥයෝ සිය කටයුතු ඇරඹුහ.

ජුනි මාසයේ විසිතුන් වෙනිදා පැවැත් වීමට නියමිත ජනමත විචාරණයෙන් කුමන දේශපාලන මතයක් ජය ගනීදැයි මේ වන විටත් යම් යම් අනුමාන ඉදිරිපත් වුවත් සති දහයක කාලයක් දියත් කිරීමට බලාපොරොත්තු වන ප්‍රචාරණ වැඩසටහන් ඔස්සේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ රැඳිය යුතු බවට හඬ නගන පිරිස් සහ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව ඒත්තු ගැන්වීමට උත්සාහ කරන මේ කණ්ඩායම් දෙකටම ඡන්ද දායකයන්ගේ තීරණ යම් වෙනසකට භාජනය කිරීමේ හැකියාව තවමත් පවතින බවටයි විශ්වාස කෙරෙන්නේ.

Image copyright Reuters

මේ වන විට පවතින දේශපාලන මතවාද

  • 'බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ ශක්තිමත්'(Britain Stronger in Europe) සංවිධානය පවසන්නේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය පවත්වා ගැනීම වෙනුවෙන් වියදම් කරන මුදල් සම්භාරය ඉන් ඉවත් වුවොත් ජාතික සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලබා දීමට හැකි යැයි පවතින මතය හුදෙක් පැහැදිලි නොකළ අනුමානයක් පමණක් වන බවයි.
  • මේ අතර ජනමත විචාරණයේ දේශපාලන කඳවුරු දෙකේ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍ය නිදහස් පක්ෂයේ නායක නයිජල් ෆෙරාජ් මුහුණට මුහුණලා අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමග විවාදයක් පැවැත්වීමට අභියෝගයක් ඉදිරිපත් කර තිබේ.
  • එංගලන්තය සහ වේල්සයේ කතෝලික පල්ලියේ ප්‍රධානී ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ යුරෝපා සංගමයෙන් ඉවත් වුවොත් බ්‍රිතාන්‍යයට තවත් ඉතා සංකීර්ණ ප්‍රශ්න මාලාවකට මුහුණ දීමට සිදු වන බවයි.
  • ITV රූපවාහිනිය සිය උදෑසන වැඩසටහනේ සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය කර ගත් දත්ත වලට අනුව 40%ක් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳිය යුතු බව විශ්වාස කරන අතර 39%ක් ඉවත් විය යුතු බව විශ්වාස කරන බවයි අනුමාන කර තිබෙන්නේ.
Image caption ඩාර්ලින් සාමිවරයා

2007 වසරේ සිට 2010 දක්වා බ්‍රිතාන්‍යය ලේබර් පක්ෂයේ චාන්සලර්වරයා ලෙස කටයුතු කළ ඩාර්ලින් සාමිවරයා කියා සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම, සිය රට පසුබසින බව පමණක් නොව යුරෝපය තුළ තනි වීමට කැමති බව ලොවටම හඬ ගා කීමක් වන බවයි.

මෙම ජනමත විචාරණයෙන් යුරෝපා සංගමයෙන් පිටතට පැමිණිය යුත්තේ බ්‍රිතාන්‍යයේ ස්වෛරීභාවය ඇති කර ගැනීම වෙනුවෙන් යැයි පළ වෙන මතය සත්‍යයක් නොවන්නේ බ්‍රිතාන්‍යය කිසි දිනෙක සිය ස්වෛරීභාවය නැතිකර නොගත් නිසා බවයි ස්කොට්ලන්ත නිදහස් ජනමතවිචාරණය ජය ගැනීම වෙනුවෙන් සාර්ථක ප්‍රචාරණ වැඩසටහන් මෙහෙයවූ ඩාර්ලින් සාමිවරයා ලන්ඩන් නුවර පැවති ප්‍රචාරණ වැඩසටහනකට සහභාගී වෙමින් පැවසුවේ.

ඒ අතරම යුරෝපා සංගම් සාමාජිකත්වය හරහා බ්‍රිතාන්‍යය ලබන ආර්ථික ප්‍රතිලාභ අමතක නොකළ යුතු බවයි සාමිවරයා පෙන්වා දෙන්නේ.

සබැඳි විෂයයන්