දේශ සීමා ඉක්මවූ ප්‍රේමයේ වන්දිය වසර එකොළහක සිරදඩුවම්

  • 2016 අප්‍රේල් 21
Image copyright Mansi Thapliyal

ආදරය වේදනා ගෙන දෙන බව සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කියමනකි. පාකිස්තාන - ඉන්දියා ආදර අන්දරයක් පුවතක් බවට පත් වන්නේ ඉන්දියානු ජාතික මොහොමඩ් ජාවිද්ට සිය ආදරය වෙනුවෙන් සැබෑ ජීවිතයේ දී දරුණු කායික සහ මානසික වේදනා රැසකට මුහුණ දෙමින් සිර බත් කෑමට සිදු වීමෙන්.

උතුරු ඉන්දියාවේ රාම්පූර් නගරයේ ජීවත් වූ ජාවිද් සිය පවුලට ඈතින් නෑදෑ වන පාකිස්තාන තරුණියකට පෙම් බැන්දේ දහසක් බලාපොරොත්තු කැටි කර ගෙනයි.

කෙසේ වෙතත් එම සුන්දර ආදරය අවසන් වන්නේ ජාවිද් ත්‍රස්තවාදියෙකු බවට හංවඩු ගසනු ලැබීමෙන් සහ වසර එකොළහකුත් මාස හයක සිර බත් කෑමට සිදු වීමෙන්.

මේ වන විට වයස අවුරුදු තිස් තුනේ පසුවන මොහොමඩ් ජාවිද් ප්‍රථම වරට සිය පෙම්වතිය මුණ ගැසෙන්නේ 1999 වසරේ පාකිස්තානයේ කරච්චි නුවරදීයි.

මව කැටුව පාකිස්තානයේ ජීවත් වන සිය ඥාතී මාමා සහ නැන්දා කෙනෙකු බැලීමට යන ජාවිද් මොබීනා දුටු දිනයේම ඇය සිය සහකාරිය විය යුතු බවට සිහින දැකීමට පටන් ගත් බවයි කියා සිටියේ.

ඇස ගැටුණු සැනින්....

ජාවිද් සිය සොඳුරු මතකය අවදි කරමින් කියා සිටියේ මොබීනා මුණගැසී පළමු මාසය අවසන් වන විට දෙදෙනාම එකිනෙකාට ආදරය කරන බව ප්‍රකාශ කිරීමට තරම් ඔවුන් සමීප වූ බවයි.

Image copyright Mansi Thapliyal
Image caption මොබීනා පෙනී සිටින පැරණි ඡායාරුපයක් තවමත් ජාවිද් අත සුරැකිව පවතියි

මාස තුනහමාරක කාලයක් සිය ඥාතීන් සමග කල් ගත කළ ජාවිද් හැකි සෑම විටම මොබීනා සමග කාලය ගත කිරීමට වැය කළ අතර දිනෙන් දින ඔවුන්ගේ ප්‍රේමය දළුලා වැඩුණි.

පසුව ඉන්දියාවට පැමිණි ඔහු රූපවාහිනී අලුත්වැඩියා කිරීමෙන් ඉපයූ මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කළේ සිය පෙම්වතියට දුරකථන ඇමතුම් ලබා දීමටයි.

'ඒ දවස් වල මොබයිල් ෆෝන් තිබුනේ නැහැ, ඉතින් මම දුරකථන ඇමතුම් සේවා සපයන තැනකට ගිහින් ඇයට කතා කරනවා, ඒක හරිම මිල අධික වැඩක්, මම මිනිත්තුවකට රුපියල් හැට දෙකක් ගෙව්වා මතකයි, ඇයත් එක්ක වචන දෙක තුනක් කතා කරන්න.' මෙතරම් කාලයකට පසුත් ජාවිද් ඇය පිළිබඳ සිය මතකයන් විස්තර කළේ මුවගට මද සිනාවක් නගමින්.

විවාහයට අවසර

පළමු පාකිස්තාන සංචාරයෙන් වසරක් ගත වීමෙන් පසු නැවතත් ජාවිද් කරච්චි නුවරට යාමට තීරණය කරන්නේ සිය පෙම්වතිය දැක ගැනීමේ බලාපොරොත්තුවෙන්.

කරච්චි නුවර මාස තුනක කාලයක් ගත කරන ඔහු තමන්ගේ සහ මොබීනාගේ පෙම් සම්බන්ධතාවය පිළිබඳ පුවත පවුල් දෙකටම දැනුම් දෙන අතර ඔවුන්ගේ කිසිදු විරෝධතාවක් නොමැති බව දැන ගැනීමෙන් සතුටට පත් වූ බවයි පැවසුවේ.

කෙසේ වෙතත් මොබීනාගේ දෙමව්පියන්ට ජාවිද් පාකිස්තානයේ පදිංචියට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවත් ජාවිද්ගේ මාපියන් කියා සිටියේ විවාහයෙන් පසු මොබීනා ඉන්දියාවට පැමිණිය යුතු බවයි.

Image copyright Mansi Thapliyal
Image caption මින් වසර එකොළහකට පෙර මොබීනා විසින් ලියන ලද පෙම් හසුන් දෙකක් තවමත් ජාවිද් සිය පසුම්බියේ රැගෙන යයි.

'මාස තුන ඉවර වෙලා ආයෙත් ඉන්දියාවට යන්න ලෑස්ති වෙනකොට ඇය මට කිව්වා මම අම්මවයි තාත්තවයි කොහොම හරි කැමති කරව ගන්නම් ඔයා ගිහින් ආයෙත් ඇවිත් මාව බැඳලා එක්කන් යන්න කියලා. මම ජීවිතේට හිතුවේ නැහැ ඒ මොහොතෙන් පස්සේ මට අයෙත් කවදාවත් පාකිස්තානයට එන්න බැරිවෙයි, ඇයව ආයෙත් දකින්න නොලැබෙයි කියලා .' තමන් මුහුණ දුන් ඒ අවාසනාවන්ත ඉරණම ජාවිද් ආවර්ජනය කළේ දුක්මුසුවයි.

එසේ මොබීනාගෙන් සමුගෙන ඉන්දියාව බලා පැමිණි ජාවිද් ඊළඟ වසර දෙකම සිය ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන්නේ ඇය සමග දීර්ග පෙම් හසුන් හුවමාරු කර ගැනීමෙන් සහ දුරකථන ඇමතුම් හරහා ඇය සමග දොඩමලු වෙමින්.

ඉතා සුළු අධ්‍යාපනයක් ලද ජාවිද්ට ඒ වන විට උර්දු බස කියවීමට හෝ ලිවීමට හැකියාවක් නොතිබූ නිසා සිය මිතුරන්ගේ සහය ඇතිව මොබීනාගේ හසුන් හින්දි භාෂාවට පරිවර්තනය කර කියවා ගන්නා ඔහුට සිය පිළිතුරු හින්දි බසින් ලියා මිතුරන්ගේ සහයෙන් නැවත උර්දු බසට පරිවර්තනය කිරීමට සිදු විය.

මොබීනාගේ ප්‍රථම පෙම් හසුන පිටු දහයක් දීර්ඝ වූ බව කියා සිටි ජාවිද් සිනා නගමින් පැවසුවේ ඇයට පිටු දොළහක පිළිතුරු ලිපියක් ලිවීමට තමන්ට දින දොළහක් ගත වූ බවයි.

වද හිංසා

මේ සියලු සොඳුරු අත්දැකීම් කෙළවර වන්නේ මොහොමඩ් ජාවිද් ඉන්දීය ආරක්ෂක නිලධාරීන් විසින් පැහැරගනු ලැබීමත් සමගයි.

'මට අද වගේ මතකයි, 2002 අගෝස්තු දහ වෙනිදා ඉරිදා දවසක්, මම මගේ කඩේ වැඩ කරමින් හිටියා, මනුස්සයෙක් ඇවිත් ඇහුවා ඔහුගේ රූපවාහිනිය වැඩ කරන්නේ නැහැ ඇවිත් හදල දෙන්න පුලුවන්ද කියලා, මම කිවුවා ගෙවල් වලට ගිහින් tv හදන්නේ නැහැ කියලා, නමුත් ඔහු ඉතාමත් කරදරෙන් ඉන්න බව පෙනුන නිසා පස්සේ මම කිව්වා කමක් නෑ මම එන්නම් කියලා.' තමන් පැහැර ගැනීමට ලක් වූ අයුරු ජාවිද් පැහැදිළි කළේය.

කාර්මික වැඩපොළේ සිට මීටර කිහිපයක් අමුත්තා සමග ඇවිද ගිය ජාවිද් පසුව කාර් රථයකට බලහත්කාරයෙන් නංවා ගනු ලැබුණි.

Image copyright Mansi Thapliyal
Image caption ජාවිද්ගේ පියා කියා සිටියේ සිය පුතුගේ ජීවිතයම නිරපරාදේ විනාශ වනු තමන්ට බලා සිටීමට සිදු වූ බවයි.

අපරාධකරුවන් විසින් තමන්ව පැහැර ගත් බව පළමුවෙන් සිතුනත් පසුව ඔවුන්ගේ කතා බහෙන් මෙම කණ්ඩායම පොලිස් නිලධාරීන් බව ඒත්තු ගිය බවයි ජාවිද් කියා සිටියේ.

ඔවුන් මගේ අත් ඔරලෝසුවයි පසුම්බියයි ගත්තා, මගේ ළඟ තිබුනා මොබීනා මට එවපු ලියුම් දෙකක්, ඔවුන් ඒවත් ගත්තා, මම කෑ ගහන්න හැදුවොත් වෙඩි තියනවා කියලා තර්ජනය කළා. මගේ ඔලුව කළු රෙද්දකින් වැහුවා, මම හොඳටම බය වෙලා අඩන්න ගත්තා, මාව අත්හරින්න කියාලා පුළුවන් තරම් පින්සෙන්ඩු වුනා. මොහොමඩ් ජාවිද් සිය මතකය අවදි කළේය.

පසුව මෙම කණ්ඩායම විසින් ජාවිද්ගේ හිස් ආවරණය ඉවත් කර ඇති අතර තමන් පාලු කාමරයකට ගෙනගොස් ඇති ආකාරය පෙනුණු බවයි ඔහු කියා සිටියේ.

දින තුනක් මුළුල්ලේ එම කුඩා කාමරය තුළ සිර කොට සිටි තමන්ට පැහැර ගැනීමට සම්බන්ධ නිලධාරී කණ්ඩායම විවිධ ආකාරයේ වද හිංසා පැමිණවූ බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

'මගේ ඇඟ පුරා නිල් පාට කළු පාට පැල්ලම් එනතෙක් මට පහර දුන්නා, කකුල් දෙකෙන් එල්ලුවා, මගේ ඔලුව සීතල වතුර බේසමක ඔබාගෙන හිටියා, අන්තිමට මට මේ වේදනා ඉවසන්න බැරිම තැන මම අඬා වැටුනා මාව මරලා දාන්න කියලා ඉල්ලමින්. තමන් අත්විඳි අනෙක විද හිංසා ජාවිද් විස්තර කරයි.

'භයානක ත්‍රස්තවාදීන්'

තමන් පාකිස්තාන බුද්ධි අංශයේ සාමාජිකයෙකු බවත් ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යංශයේ රහස් ඉස්ලාමාබාද් අගනුවරට ලබා දීමට ඔත්තු කරුවෙකු ලෙස ක්‍රියා කරන බවටත් චෝදනා කළ ඉන්දීය නිලධාරීන් තමන්ට මෙලෙස වද හිංසා දුන් බවයි ජාවිද් පැවසුවේ.

දින තුනකින් පසු මෙම ඉන්දීය පොලිස් නිලධාරීන් විසින් තමන්ව රාම්පූර් වෙත ගෙන ආ බව කියා සිටි ජාවිද් පැවසුවේ එහිදී සිය පෙම් හසුන් පරිවර්තනය කිරීමට සහය දුන් මිතුරන් තිදෙනාවත් අත්අඩංගුවට ගත් බවයි.

Image copyright Mansi Thapliyal
Image caption ජාවිද් බන්ධනාගාරගත කිරීමට පෙර ගනු ලැබූ සේයාරුවක්

ඊළඟ දිනයේදී ජාවිද් සහ ඔහුගේ මිතුරන් තිදෙනා ඉන්දීය අධිකරණයට ඉදිරිපත් කළ අතර ජනමාධ්‍යවේදීන් ඉදිරියේ ඔවුන් 'භයානක ත්‍රස්තවාදීන්' ලෙස හඳුන්වා දෙනු ලැබුවේ ඉන්දියාවට එරෙහිව යුද වදින බවට චෝදනා කරමින්.

ජාවිද් කරච්චි නුවරට ගිය අවස්ථා ඔහු සිය පාකිස්තාන බුද්ධි අංශ නිලධාරීන් හමු වීම වෙනුවෙන් කළ බවට අර්ථකථනය වූ අතර මොබීනාට ලබා දුන් දීර්ඝ දුරකථන ඇමතුම් ඔත්තු ලබා දීම් වශයෙන් හඳුන්වනු ලැබීය.

මාස එකහමාරක් මුළුල්ලේ පැවති නඩු විභාගයෙන් පසු ඉන්දීය ත්‍රස්තමර්ධන නීතිය යටතේ චෝදනා ඔප්පු කළ අධිකරණය ජාවිද් සිරගත කරනු ලැබුවේ ඇප ලබා ගැනීමටද වරම් අහිමි කරමිනි.

මෙවැනි බරපතළ චෝදනා තමන්ට එල්ල වීමට කිසිදු සාධාරණ හේතුවක් තමන්ට සොයා ගත නොහැකි බව ජාවිද් සිය සිර කුටියේ සිටි පිරිස් සමග කියා සිටි විට, 'කාගිල්' යුද ගැටුම් සමයේ කරච්චි නුවරට ගිය මුස්ලිම් තරුණයන් රැසක් මෙලෙස ඉන්දීය බලධාරීන් විසින් සැක පිට අත්අඩංගුවට ගෙන පසුව ත්‍රස්තවාදී චෝදනා ගොනු කිරීම් කර ඇති බව ඔවුන් තමන් හා පැවසූ බවයි ජාවිද් කියා සිටියේ.

1999 මැයි සහ ජුනි මාස දෙක තුල කාශ්මීර 'කාගිල්' ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක අංශ සහ පකිස්තාන භට කණ්ඩායම් අතර ඇති වූ දැඩි සටන් දෙපාර්ශවයේම ජීවිත රැසක් බිලි ගැනීමට හේතු විය.

'මාව ජීවත් කෙරෙව්වේ ඇයගේ ආදරයයි'

සිය සමීපම මිතුරන් තිදෙනා සිර භාරයට පත් වීමට හේතුව ජාවිද් බව ඔවුන් කියා සිටි බැවින් රාම්පූර් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳි ජාවිද්ට සිය මිතුරන් සදහටම අහිමි විය.

Image copyright Mansi Thapliyal
Image caption මොහොමඩ් ජාවිද්ගේ මව

දීර්ඝ සිර දඬුවම් විඳි කාලය තුළ සිය ප්‍රේමය පිලිබඳ සිතුවිළි තමන් ජීවත් කළ බවයි ජාවිද් පැවසුවේ.

'මගෙත් එක්ක හිටපු අනිත් හිර කාරයොත් එක්ක මම මොබීනා ගැන කියනවා, ඇය බලන්න කරච්චි ගිය අවස්ථා වල ලද මිහිරි අත්දැකීම් ඇය පිලිබඳ මතකය මගේ හදවතේ රඳවාගෙන කම්කටොලු වලට මුහුණ දෙන්න ඇය මට දිරිය දුන්නා.'

ජාවිද්ගේ පියා ඔවුන් සතුව තිබූ දේපොළ ඉඩකඩම් විකුණා දමමින් සිය පුතුගේ නිදහස වෙනුවෙන් සටන් කිරීමට නීතිඥ ගාස්තු ගෙවමින් ඉතාමත් දුෂ්කර කාලයක් ගෙවූ අතර ඔහුගේ මව දිගින් දිගටම හඬා වැටුනේ සිය පුතු ප්‍රථම වරට කරච්චි නුවරට කටුව යාම ගැන පසුතැවිලි වෙමින්.

'මම තවමත් ඇයට ආදරෙයි'

අවසානයේ 2014 වසරේ ජනවාරි මස දහනම වෙනි දින නිදහස ලබන ජාවිද්ට එරෙහිව ගොනු කර තිබූ චෝදනා සියල්ලෙන් ඔහු නිදොස් බව අධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබෙයි.

ජාවිද්ගේ තරුණ විය සොරා ගත් වසර එකොළහක සිර දඬුවම් අවසන් කරමින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ඉන්දීය අධිකරණය කියා සිටින්නේ නීතිපති වරයා විසින් නඩුවට අදාළව ඉදිරිපත් කර ඇති සාක්ෂි නොගැලපෙන බැවින් චෝදනා ඉවත් කරන බවයි.

'මම හිර ගෙදරින් එළියට ඇවිදන් එනකොට මට දැනුනේ නැහැ මම නිදහස් නේද කියලා, ඒක විශ්වාස කරන්න මට අමාරු වුනා, මගේ ජීවිතේ වැදගත්ම අවදියේ අවුරුදු එකොළහක් මගෙන් උදුරා ගත්තේ කිසිම සාධාරණ හේතුවක් නැතුවයි' ඔහුගේ විඩාපත් මුහුණ තමන් විඳි කම්කටොලු මොනවට කියා පායි.

Image copyright Mansi Thapliyal
Image caption සිය ජීවිතය නැවත ගොඩ නගා ගැනීමට උත්සාහ දරමින් සිටින ජාවිද්

පසුගිය වසර දෙකක කාලය තුළ ජාවිද් නැවතත් සිය ජීවිතය ගොඩනැගීමට උත්සාහ කරමින් නිවසට යාබදව කුඩා කාර්මික සේවා ආයතනයක් පවත්වා ගෙන යාමට කටයුතු කරයි.

සිය ජීවිතයට මෙවන් අපරාධයක් සිදු කළ පුද්ගලයන්ට කිසිදු දඬුවමක් හිමි නොවීම මෙන්ම වන්දි මුදලක් වත් තමන්ට ලබා නොදීම සම්බන්ධයෙන් මොහොමඩ් ජාවිද් පසුවන්නේ දැඩි කෝපයෙනි.

සිය සිර දඬුවම අවසන් වූ පසු මොබීනා සමග නැවත සම්බන්ධ වීමට උත්සාහ කළේ නැති දැයි බීබීසිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජාවිද් කියා සිටියේ මේ වන විට ඇය විවාහ වී සතුටින් ජීවිතයක් ගෙවන්නේ නම් එයට බාදා කිරීමට තමන් අකමැති අතර ඇය හා සමබ්න්ධකම් පැවැත්වීමෙන් සිය පවුලේ සාමාජිකයන් නැවතත් අනතුරට පත් වේ යැයි දැඩි බියකින් පසුවන බවයි.

මොබීනා වෙනුවෙන් වූ ආදරය සිය බුද්ධියෙන් ඉවත් කර ජීවිතයට මුහුණ දීමට උත්සාහ කළත් තවමත් තමන් ඇයට හදවතින් දැඩි ලෙස ආලය කරන බවයි ජාවිද් සිය කටුක අත්දැකීම් ආවර්ජනාව අවසන් කරමින් කියා සිටියේ.