සෝමාලියාවේ පල්ලියක් කඩා වැටී 'පහළොවක් මරුට'

මොගදිෂු අගනුවර පිහිටි පල්ලියක අනතුර සිදු වී තිබේ
Image caption මොගදිෂු අගනුවර පිහිටි පල්ලියක අනතුර සිදු වී තිබේ

සෝමාලියාවේ අලුත්වැඩියා කරමින් තිබූ පල්ලියක් කඩා වැටීමෙන් පුද්ගලයන් පහළොස් දෙනකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

මොගදිෂු අගනුවර පිහිටි ඉහත කී පල්ලියේ සිදු වූ අනතුරෙන් පුද්ගලයන් හතළිස් දෙනකු තුවාල ලබා තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ සිකුරාදා යාච්ඤා මෙහෙය සඳහා පැමිණි බැතිමතුන්ගෙන් පල්ලිය පිරී පැවත ඇති බවයි බලධාරීන් කියා සිටියේ.

එම අවස්ථාවේ පල්ලිය තුළ සිය ගණනක පිරිසක් සිට ඇති බව වාර්තා වන අතර ඒ අතුරින් සමහරෙක් තවමත් සුන්බුන් අතර සිර වී සිටින බවට විශ්වාස කෙරේ.

නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමේ චෝදනා යටතේ අලුත්වැඩියා කිරීම් භාරව කටයුතු කළ එක් ඉන්ජිනේරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මරුමුවට පත් පිරිසෙන් වැඩි දෙනකු අලුත්වැඩියා කටයුතුවල යෙදී සිටි කම්කරුවන් බව එක් මාධ්‍ය වාර්තාවක සඳහන් විය.