වන සතුන් රැක ගැනීමට ජංගම දුරකථන තාක්ෂණය

Image copyright Chester Zoo
Image caption සිය මව දඩයක්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීමෙන් පසු 'සන්'නම් වලස් පැටවා වනසංරක්ෂණ නිලධාරීන් විසින් බේරා ගනු ලැබිණ. මේ වන විට 'සන්' ජීවත් වන්නේ චෙස්ටර් සත්ව උද්‍යානයේයි.

නීති විරෝධී ලෙස සිදු කරන වන සතුන් ජාවාරම් පිළිබඳ සිය ස්මාර්ට් දුරකථනය හරහා තොරතුරු ලබා දෙන ලෙස සංරක්ෂණ නිලධාරීන් මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

වන සංරක්ෂණ නිලධාරීන්ගේ සංවිධානයක් විසින් ස්මාර්ට් දුරකථන හරහා භාවිතා කළ හැකි පරිඝනක වැඩසටහනක් නිර්මාණය කරනු ලැබ ඇති අතර එමගින් වන සතුන් හෝ වන සතුන්ගේ සම් ආදිය විකිණීමට ඇති අවස්ථා වල ඡායාරූප සහ තොරතුරු අදාළ බලධාරීන් වෙත යැවීමට එම වැඩසටහන භාවිතා කරන පුද්ගලයන්ට අවස්තාව හිමි වෙයි.

එම සංවිධානය පවසන්නේ මෙමගින් නීතිවිරෝධී ලෙස සිදු කෙරෙන වන සතුන් දඩයම සහ ජාවාරම් වැලක්වීමට පියවර ගැනීමට අදාළ බලධාරීන්ට සහ වනසංරක්ෂණ නිලධාරීන්ට මහත් රුකුලක් වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව වසරකට සිදු කෙරෙන නීති විරෝධී වන සතුන් ජාවාරම් වලින් ඉපැයෙන ආදායම ස්ටර්ලින් පවුම් බිලියනය ඉක්මවයි.

වන සතුන් සුරැකීම වෙනුවෙන් කටයුතු කරන සංවිධාන පවසන්නේ අනවසර දඩයම් වැලක්වීමට එම සංවිධාන විසින් ගනු ලබන සියලු උත්සාහයන් අභිබවා නීති විරෝධී වන සතුන් ජාවාරම් ඉහළ යමින් පවතින බවයි.

වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින වනසතුන් දඩයම් කිරීම පසුගිය වසර කිහිපය තුළ ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින අතර කොටින් වැනි සුවිශේෂී සතුන් මිහිපිටින් තුරන් වීමට නොදී ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට සිදු වී තිබේ.

වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින සතුන්ගේ ශරීර කොටස් සහ එම සතුන්ගේ අවයව වලින් නිපදවන විවිධ නිෂ්පාදන සඳහා චීනයේ කළු වෙළඳපොළ තුළ වැඩෙමින් පවතින ඉල්ලුම නීති විරෝධී දඩයම් සහ වන සතුන් ජාවාරම් වල සීග්‍ර ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකි බවයි වන සංරක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන්නේ.

2007 වර්ෂය හා සසඳන විට නීති විරෝධී ඇත්දළ වෙළඳාම දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව බ්‍රිතාන්‍යයේ 'චැතම් හවුස්' බුද්ධි මණ්ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවක සටහන් වෙයි.

චීනයේ බේජිං නුවර ඇත්දළ කිලෝ එකක මිල ඇමරිකානු ඩොලර් දෙදාස් දෙසිය පහක් දක්වා ඉහල ගොස් තිබෙන බව පෙන්වා දෙන 'චැතම් හවුස්' බුද්ධි මණ්ඩලය කියා සිටින්නේ නීති විරෝධී වන සත්ව නිෂ්පාදන සඳහා පවතින ඉල්ලුම වාර්තා ගත ලෙස ඉහළ යමින් පවතින බවයි.

Image copyright Traffic
Image caption කොටින් වැනි සුවිශේෂී සතුන් මිහිපිටින් තුරන් වීමට නොදී ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට සිදු වී තිබේ.

රත්රන් සහ ප්ලැටිනම් වල මිලට වඩා වැඩි අගයක් ගනිමින් රයිනෝ අඟ කිලෝවක මිල ඇමරිකානු ඩොලර් හයදහස් හයසීයක් දක්වා ඉහළ නැග තිබේ.

නීති විරෝධී සංක්‍රමණිකයන් ප්‍රවාහනය, අවි සහ මත්ද්‍රව්‍ය ජාවාරම මගින් ලෝකයට ඇති කරන තර්ජනයට සමාන තර්ජනයක් ලෙසයි ලොව අපරාධ වැළක්වීමේ ආයතන විසින් මේ වන විට වනසතුන් ජාවාරම හඳුනාගෙන තිබෙන්නේ.

වන සතුන් ජාවාරම් පිළිබඳ තොරතුරු වෙත්තොත් සිය ජංගම දුරකථනය භාවිතා කරමින් අදාළ බලධාරීන් වෙත ලබා දීමට හැකි පරිඝනක වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ 'ටැරොන්ගා' ඕස්ට්‍රේලියා සංරක්ෂණ ආයතනය සහ 'ට්‍රැෆික්' අනවසර වනසතුන් ජාවාරම වැළක්වීමේ ජාලය ඒකාබද්ධවයි.

එම සංවිධාන දෙකේම මූලික අවධානය යොමුව තිබෙන්නේ ලෝකයේ අනවසර වනසතුන් දඩයම සහ ජාවාරම් සිදු කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන බව සැලකෙණ ගිණිකොනදිග ආසියාව වෙතයි.

එංගලන්තයේ 'චෙස්ටර්' සත්ව උද්‍යානය යුරෝපය පුරා නව දුරකථන වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කර ඇති අතර 'සන් ඩියාගෝ' සත්ව උද්‍යානය ඇමරිකාව පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරමින් සිටියි.