අවසන් 'කැසබ්ලන්කා' තරුවත් නිවී යයි

Image caption 'කැසබ්ලන්කා' චිත්‍රපටියේ ඇය රඟපෑවේ හම්ප්‍රි බොගාර්ට් ගේ පෙම්වතිය ලෙසටයි.

ලෝක සිනමාවේ නොමැකෙන සටහනක් තැබූ 1942 දී නිෂ්පාදිත සම්භාව්‍ය චිත්‍රපටයක් වූ 'කැසබ්ලන්කා' හි රඟපෑ නළුනිළි කණ්ඩායමේ සිටි අනතිමයා වූ ප්‍රංශ ජාතික සිනමා නිළි මැඩලීන් ලෙබෝ (Madeleine Lebeau) සිය දිවි ගමන නිම කළාය.

මියයනවිට ඇය 92 වැනි වියේ පසුවූවාය.

ඇගේ පසු විවාහයක සැමියාගේ පුත්‍රයා වන සිනමා නිෂ්පාදක කාලෝ ඇල්බර්ටෝ පිනෙලි හොලිවුඩ් වර්තාකරුවෙකුට පවසා තිබුණේ මැයි මස පළමුවැනිදා මැඩලීන් මියගිය බවයි.

'කැසබ්ලන්කා' චිත්‍රපටියේ ඇය රඟපෑවේ හම්ප්‍රි බොගාර්ට් ගේ පෙම්වතිය ලෙසටයි.

1923 දී පැරීසිය ට නුදුරු තැනක දී උපත ලද මැඩලීන් ප්‍රංශය නාසි හමුදා විසින් අත්පත්කර ගැනීමත් සමග 1940 දී එවකට ඇගේ සැමියාව සිටි මාර්සෙල් දාලියෝ සමග ප්‍රංශයෙන් පැන ගියාය.

හොලිවුඩයට පැමිණි ඔවුන් දෙදෙනාට 'කැසබ්ලන්කා' චිත්‍රපටියේ රඟපෑමට අවස්තාව ලැබුණේ ඉන් පසුවයි.

එම චිත්‍රපටයේ හම්ප්‍රි බොගාර්ට් මොරොක්කෝ හි ඇමරිකානු ආපන ශාලා හිමිකරුවෙක් ලෙස රඟපෑවේය. සිනමා වෘත්තාන්තයට අනුව ඔහු ප්‍රංශයේ නාසි හිතවාදී කණ්ඩායම් පාලනය කළ මොරොක්කෝවෙන් කැසබ්ලන්කාවට පැන යාමට එක් පුද්ගලයෙකුට උදව් කරන අතර නාසීන්ට එරෙහිව සටන් කරන එම පුද්ගලයාගේ බිරිඳ සමග ප්‍රේම සබඳතාවක් ඇතිකර ගනියි.

යුද්ධයෙන් පසු යළි ප්‍රංශයට පැමිණීමට පෙර මැඩලීන් තවත් හොලිවුඩ් චිත්‍රපට දෙකක රඟපෑවාය.