නොමිලේ ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙක් කපා කොටා මරා දැමෙයි

බටහිර බංග්ලාදේශයේ ගමක සේවය කළ වෛද්‍යවරයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ප්‍රාදේශීය පොලිසිය පවසයි.

වෛද්‍යවරයා සමග සිටි ඔහුගේ මිතුරෙකුටද ඝාතකයන් විසින් දැඩි තුවාල සිදු කර ඇති අතර ඔහු මේ වන විට ඩකා අගනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

'කුශීතියා' දිස්ත්‍රික්කයේ කුඩා ගමක සිය වෛද්‍ය සායනය පවත්වාගෙන ගිය සංවර් රහුමාන් සෑම සිකුරාදා දිනකම ගම් වාසීන්ට හෝමියෝපති වෙදකම නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.

Image caption අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බවට සැක කෙරෙන මෙම ඝාතන වලට විරෝධය දක්වමින් බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන් වීදි බැස විරෝධතා වල නියැලුණු අවස්ථාවක්

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වෛද්‍ය සංවර් රහුමාන් සහ ඔහුගේ මිතුරාට අන්තවාදී ඉස්ලාම් කැරලිකාර කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

පසුගිය වකවානුවේ බංග්ලාදේශය පුරා ලිබරල්වාදීන්, බ්ලොග්කරුවන්, සහ සුළු ජාතික පුද්ගලයන් කපා කොටා ඝාතනය කරනු ලැබීමේ චෝදනා පොලිසිය විසින් එල්ල කරනු ලබන්නේ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් වෙතයි.

බංග්ලාදේශයේ පසුගිය කාලය තුළ එලෙස කපා කොටා ඝාතනය කළ පිරිසට බෞද්ධ භික්ෂුවක්, හින්දු ඇඳුම් මසන්නෙක්, සූෆී මුස්ලිම් දේවගැතිවරයෙකු සහ සම ලිංගික අයිතිවාසිකම් ක්‍රියාධරයෙකු ඇතුළත් වෙයි.