කන්නේ ප්‍රවේශමෙන්! ආහාර විෂ වීමේ අවදානමක්

ඉතාමත් අයහපත් කාලගුණික තත්වයන් සහ වේගයෙන් ඉහළ නගින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ආහාර අස්වනු සතුන්ට සහ මිනිසුන්ට හානිකර අයුරින් විෂ වීමේ තර්ජනයක් පවතින බව එක්සත් ජාතීන් වාර්තාවක් නිකුත් කර තිබේ.

මෙම වාර්තාව සම්පාදනය කළ විශේෂඥ කණ්ඩායම පවසන්නේ ලෝකයේ කෘෂි කාර්මික නිෂ්පාදනයෙන් 70%ක් මෙලෙස විෂ වීමට භාජනය වනු ඇති බවයි.

ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල කෝටි හාරසිය පනහක් පමණ ජනතාව විෂ වීමට ලක් වූ කෘෂි කාර්මික අස්වැන්න ආහාරයට ගැනීමේ අවදානමක් පවතින බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ.

මාරාන්තික විෂ

එක්සත් ජාතීන්ගේ පාරිසරික අධ්‍යන ව්‍යාපෘතිය විසින් සිදු කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් තොරතුරු අනුව දීර්ඝ කාලීන නියඟ හේතුවෙන් ලෝකයේ විවිධ ප්‍රදේශ වල වැවෙන ශාක කුල අසූවක රසායනික සංයෝග වෙනස් වීම් වලට බඳුන් වීමෙන් එම ශාක සියල්ල සතුන්ට මාරාන්තික ලෙස විෂ වීමට ඉඩ ඇති බවයි හෙළි වී තිබෙන්නේ.

මෙම අනතුර හමුවේ ඉතා පහසුවෙන් මිනිසුන්ට සහ සතුන්ට මාරාන්තික මට්ටමකට නයිට්‍රේට් රසායන සංයෝග ඉහළ යා හැකි කෘෂි නිෂ්පාදන අතරට තිරිඟු, බාර්ලි, බඩ ඉරිඟු, මෙනේරි, සෝයා බෝංචි යන ධාන්‍ය වර්ග ඇතුළත් වෙයි.

එක්සත් ජාතීන්ගේ පාරිසරික ව්‍යාපෘතියේ ජේෂ්ඨ විද්‍යාඥවරිය වන 'ජැකලින් මැක්ග්ලේඩ්' කියා සිටියේ මෙය හුදෙක් නියඟය නිසා ජලයට ඇති වන බලපෑම මත සිදු වන සංසිද්ධියක් නොවන බවයි.

නයිට්‍රේට් රසායන සංයෝග

"මේ වෙන කොට ලෝකයේ ඇති වෙමින් තියෙන කාලගුණික විපර්යාසයේ ප්‍රතිපලයක් ලෙස දීර්ඝ නියන් සහ දැඩි අයහපත් කාලගුණ තත්වයන්ට ස්වභාවධර්මය අනුවර්තනය වීමකුයි සිද්ධ වෙමින් තියෙන්නේ. ඉතින් සතුන්ට සහ මිනිසුන්ට ආහාර පාන විෂ වීම ඒ අනුවර්තනයේ එක් පියවරක්. අනිත් එක ලෝකය පුරාම මේ වෙන කොට දැඩි දීර්ඝ කාලීන නියන් ඇති වෙමින් තියෙනවා." 'ජැකලින් මැක්ග්ලේඩ්' ජේෂ්ඨ විද්‍යාඥවරිය කරුණු පැහැදිලි කළාය.

නියඟය පමණක් නොව කෙටි කාලයක් තුළ ලැබෙන ධාරානිපාත වැසි හේතුවෙන් ඇතිවන දරුණු ගංවතුර තත්වයන්ද කෘෂි නිෂ්පාදන විෂ සහිත වීමට බලපාන හේතුවක් වන බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.

Image copyright AFP

සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි අවදානමක්

අතිශය ලෙස වෙනස් වන අයහපත් කාලගුණය හේතුවෙන් ශාක තුළ හට ගන්නා තවත් රසායනික සුසංයෝග දෙකක් ලෙස හයිඩ්රිජන් සයනයිඩ් (hydrogen cyanide) සහ ප්රෝසික් ඇසිඩ් (prussic acid) නම් කරන වාර්තාව පෙන්වා දෙන්නේ මෙම විෂකාරක සංයෝග හන, බඩඉරිඟු, චෙරි, ඇපල් සහ තවත් ශාක තුළ වර්ධනය වීමේ විශාල ඉඩකඩක් පවතින බවයි.

දීර්ඝ කාලීන නියං තත්වයන් හේතුවෙන් ශාක තුළ නිපදවන නයිට්‍රේට් රසායනිකය ප්‍රෝටීන බවට හැරවීමේ ශක්තිය ශාක වලින් ගිලිහී යාම හේතුවෙන් ඉතිරි වන ඉතා ඉහල ප්‍රතිශතයක නයිට්‍රේට් අනෙකුත් රසායන සමග ප්‍රතික්‍රියා කිරීම නිසා මෙලෙස ශාක නිෂ්පාදන මිනිසාට සහ සතුන්ට විෂ වීම සිදු වන බවයි විද්‍යාඥයන් කරුණු පහදන්නේ.

මෙලෙස අධික ප්‍රමාණ වලින් ශාක තුළ නිපදවී ඉතිරි වන නයිට්‍රේට් සංයෝග සහිත පළතුරු, ධාන්‍ය වර්ග, එළවලු ආහාරයට ගන්නා සතුන් හෝ මිනිසුන්, ගැබිනි භාවයේ සිටියදී බිලිඳුන් මිය යාම, හුස්ම ගැනීමේ දැඩි අපහසුතා හට ගැනීම සහ මරණයට මුහුණ දිය හැකියි.

කුඩා පුස් වර්ග

එමෙන්ම දීර්ඝ කාලීන නියං තත්වයන් හමුවේ කෘෂි නිෂ්පාදන වල හට ගත හැකි කුඩා පුස් වර්ග, හේතුවෙන් 'ෆන්ගල් ටෝක්සීන්ස්', නැතහොත් පුස් වර්ග වර්ධනයෙන් ඇති වන විෂ රසායන සංයෝග සහිත ආහාර ගැනීමෙන්ද සතුන් සහ මිනිසුන්ට මාරාන්තික හානි සිදු විය හැකි බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙන්නේ.

ඒ අනුව 'ඇෆ්ලටෝක්සීන්ස්'(Aflatoxins) නම් පුස් තුළ නිපදවෙන මාරාන්තික විෂ රසායන සංයෝගයක් විද්‍යාඥ කණ්ඩායම විසින් හඳුනා ගෙන ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහනයෙන් කෝටි හාරසිය පනහක් පමණ ජනතාව මෙම සංයෝගය අඩංගු ශාක ආහාර අනුභව කිරීමේ අවදානමක් පවතින බවයි වාර්තාව ඇස්තමේන්තු කොට තිබෙන්නේ.

බීබීසි ලෝක සේවයේ පරිසර වාර්තාකරු නවීන් සිං කඩ්කා විසින් ඉදිරිපත් කළ වාර්තාවක් ඇසුරෙනි.