තායි කොටි පන්සල වසා දැමෙයි

Image caption කොටි පන්සල

පරිසරවාදීන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතින තායිලන්ත බෞද්ධ විහාරස්ථානයක රඳවනු ලැබ සිටින කොටින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට වනජීවී නිලධාරීහු පියවර ගනිමින් සිටිති.

තායිලන්තයේ 'කාන්චනාබූරී' පළාතේ පිහිටි එම බෞද්ධ විහාරස්ථානයේ රඳවා ඇති කොටින් 137 දෙනකු ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බවයි තායිලන්තයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

Image caption කොටින්ට පැන් පහසුව

පශු වෛද්‍ය නිලධාරීන් විසින් ජීවීන් සිහිසුන් කිරීමට එන්නත් කරන ඖෂධ විදිමින් සිය ග්‍රහණයට ගනු ලබන කොටින් අසළ පිහිටි අභය භූමියකට මුදා හැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ.

දම්වැල් වලින් ගැට ගසන ලද කොටින් රැගෙන ඇවිදීමට සහ ඔවුන් සමඟ ඡායාරූප ගැනීමට සංචාරකයන්ට අවස්ථාව සලසමින් එම බෞද්ධ විහාරය වසරකට ඩොලර් පනස් ලක්ෂයකට අධික මුදලක් උපයා ගන්න බව ඇස්තමේන්තු කොට ඇත.

Image copyright face book
Image caption මුදලට කොටි සුරතල්

සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ වසර කීපයක් තිස්සේ දිගින් දිගටම කියා සිටියේ එම බෞද්ධ විහාරය වසා දමන ලෙසයි.

සත්ව අවයව විකිණීමේ ජාවාරමේ නිරත වෙන බවටත් විහාරස්ථානය චෝදනා ලබයි.

Image caption වෙහෙසව පිපාසයෙන්

එසේම කොටින්ට කස පහර එල්ල කිරීම සහ ඉතා කොට දම්වැල් වලට ඔවුන් ගැට ගසා තැබීම සම්බන්ධයෙන් ද එම ස්ථානයට චෝදනා එල්ල වී ඇත.

Image caption කොටි සුරතල්