ෆලුජා නගරයේ දරුණු සටන්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෆලුජා නගරයේ දරුණු සටන්

ෆලුජා නගරයේ බලය යළි ලබා ගැනීමේ මෙහෙයුම්වල නිරත ඉරාක හමුදා වෙත ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවෝ ප්‍රතිප්‍රහාර එල්ල කරති.

නගරයේ දකුණු පෙදෙසේ සිටින ඉස්ලාම් රාජ්‍ය කැරලිකරුවන් සමග පැය හතරක් පුරා සටන් පැවති බවයි ඉරාක හමුදා කියා සිටියේ.

නුඅයිමියා ප්‍රදේශයේ උමං මාර්ග භාවිතා කරමින් සැඟවී සිට පහර දෙමින් සහ මෝටර් රථ බෝම්බ යොදා ගනිමින් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ නමුත් ඔවුන්ගේ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ ලබා නොදුන් බව ඉරාක හමුදාව පවසයි.

එම සටන්වලදී කැරලිකරුවන් හැත්තෑ පස් දෙනකු මරා දැමූ බවයි ඉරාක අණදෙන නිලධාරියෙක් කියා සිටියේ.

මේ අතර බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර හට පහක් පමණ බටහිරින් පිහිටි ෆලුජා නගරයේ කොටු වී සිටින බව පැවසෙන පනස් දහසකට අධික සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආධාර සංවිධානවල දැඩි අවධානය යොමු වී තිබේ.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය අත පවතින ෆලුජා නගරයෙන් පළා ආ කාන්තාවක් සිය අත්දැකීම විස්තර කරමින් කියා සිටියේ එහි වෙසෙන සාමාන්‍ය වැසියන් දැඩි පීඩාවකට පත් වී ඇති බවයි.

'ඒක මහා විනාශයක්. අපි මේ විදියට මාස හතක් විතර හිටිය. අපේ ළමයින්ට කිසිම බෙහෙතක් නැහැ. ආරක්ෂක හමුදා ඇවිත් අපිව බේර ගන්න තුරු අපි ඔවුන්ට කොටු වෙලා සිටියේ. අපිට වතුර තිබුණේ නැහැ.' ඇය පැවසීය.