ෆලූජා වැසියන්ට ෂියා මුස්ලිම් හමුදා වලින් හිරිහැර

ෆලූජා නගරයේ ඇතිවූ යුද ගැටුම් වලින් අනතුරුව රජය විසින් රඳවාගෙන සිටි සාමාන්‍ය වැසියන්ට ෂියා මුස්ලිම් මිත්‍ර හමුදා කණ්ඩායම් වද හිංසා පැමිණවූ බවට එල්ල වන චෝදනා විභාග කිරීමට පියවර ගන්නා බව ඉරාක බලධාරීහු පවසති.

මේ අතර උතුරු ෆලූජා නගරයේ බලය ඉරාක හමුදා විසින් තහවුරු කර ගැනීමෙන් පසු රැඳවුම් භාරයට ගනු ලැබූ සාමාන්‍ය වැසියන් හයසීයකට අධික පිරිසක් ඊයේ (ඉරිදා) දිනයේදී මුදා හැරීමට රජය පියවර ගෙන තිබේ.

ඉරාකයේ අන්බාර් ප්‍රාදේශීය සභාවේ නිලධාරියකූ බීබීසියට කියා සිටියේ 'සක්වාලියා' නගරයේ රජයේ හමුදා සහ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ කැරලිකරුවන් අතර පැවති යුද ගැටුම් අතරතුර සිය ගණන් සාමාන්‍ය ජනතාව රැඳවුම් භාරයේ සිටි බවයි.

එසේ රැඳවුම් භාරයේ සිටි ජනතාව නිදහස් වූ පසු ඔවුන්ගේ සිරුරු වල අධික වද හිංසා වලින් ඉතිරි වූ කැළැල් දැක ගත හැකි වූ බවයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

මෙලෙස වද හිංසා වලට භාජනය වූ රැඳවුම් භාරයේ සිටි සිවිල් වැසියන් සිව් දෙනෙකු මරණයට පත් වී ඇති අතර තවත් විශාල පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි අන්බාර් ප්‍රාදේශීය සභා නිලධාරී ෂෙයික් රාජා අල් ඉසාවී පවසන්නේ.

2014 සිට ඉරාකයේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් බලය අල්ලා ගනු ලැබූ ප්‍රදේශ වල පාලනය නැවත රජයට පවරා ගැනීම සඳහා ඉරාක හමුදා, ෂියා මුස්ලිම් හමුදා කණ්ඩායම් වල සහය ලබා ගත් අතර එම කණ්ඩායම් සුන්නි මුස්ලිම් සිවිල් වැසියන්ට එරෙහි දරුණු අපරාධ සිදු කරන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.

Image copyright Reuters