ඇෆ්ගන් පොලිසියට තාලිබාන් ප්‍රහාරයක්

Image copyright AP
Image caption පසුගිය සතියේ ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කරගෙන බස් රථයකට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයෙන් පසු මාර්ග වල ආරක්ෂාවට ඇෆ්ගනිස්තාන පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සේවයේ යොදවා තිබුණි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ආසන්නයේ පොලිස් මූලස්ථානයකට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පොලිස් ශිෂ්‍ය භටයන් හතළිස් දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනය වී ඇති බව එරට බලධාරීහු පවසති.

කාබුල් නගරයෙන් පිටත පැවති උත්සවයකට සහභාගී වූ උපාධිසමාර්ථ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායමක් ප්‍රවාහනය කරමින් තිබු බස් රථ පෙළකටයි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වී තිබෙන්නේ.

පොලිස් ශිෂ්‍ය භටයන් හැරුණු කොට තවත් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් ප්‍රහාරයට ගොදුරු වූ බවයි පාග්මාන් දිස්ත්‍රික්කයේ නගරාධිපති හජි මොහොමඩ් මුසා බීබීසියට කියා සිටියේ.

මින් සතියකට පෙර කැනේඩියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් කාබුල් නුවර බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් දාහතර දෙනෙකුට මරු කැඳවු තාලිබාන් සංවිධානය විසින් මෙම ප්‍රහාරයේද වගකීම භාරගනු ලැබ තිබේ.