බංග්ලාදේශයේ තවත් හින්දු පුජකවරයෙකු මරා දැමෙයි

Image copyright AFP/Getty
Image caption බංග්ලාදේශ රජය විසින් රට පුරා සෝදිසි මෙහෙයුම් දියත්කර තිබියදීය මෙම නවතම ඝාතනය සිදුවී ඇත්තේ

හින්දු පුජකවරයෙකු කපා කොටා මරා දමා ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසයි.

මෙය සුළු ආගමිකයන් සහ අනාගමික ලේඛකයන් වැනි පුද්ගලයන් වෙත එල්ල කෙරුණු ඉස්ලාම් සන්නද්ධකරුවන් කළ බවට සැක කෙරෙන ප්‍රහාර මාලාවක නවතම සිදුවීමයි.

ශ්‍යමානන්ද දාස් නම් පුජකවරයා වයඹදිග බංග්ලාදේශයේ ජෙනයිදා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හින්දු කෝවිලේ උදෑසන පූජාව සඳහා සූදානම් වෙමින් සිටියදීය ඝාතනයට ලක්වී ඇත්තේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු පුජකවරයාට කඩු වලින් පහර දී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයේ අරමුණ පැහැදිලි නැති බව පවසන පොලීසිය මෙය පසුගිය මාස කිහිපය තුළ ඉස්ලාම්වාදීන් යැයි සැකකෙරෙන අපරාධකරුවන් විසින් සිදු කළ ඝාතන රැල්ලේම තවත් සිදුවීමක් බවයි පැවසුවේ.

නිදහස් මතධාරී සමාජ ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන්, අධ්‍යාපනඥයන් සහ සුළු ආගමික පුද්ගලයන් ඇතුළු හතළිහකට වැඩි පිරිසක් 2013 සිට මේ දක්වා බංග්ලාදේශය තුළ මෙසේ ඝාතනයට ලක්වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර