පළමු දූෂකයෝ දලිත් සිසුවිය යළිත් ගොදුරු කර ගනිති

Image caption තරුණිය දූෂණය කිරීමේ සිදුවීමට විරෝධය පළ කිරීම සඳහා රෝහ්තාක් නුවර දලිත් පීඩිත කුලයේ ජනතාව විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඉන්දියාවේ දලිත් පීඩිත කුලයට අයත් සිසුවියක් මින් වසර තුනකට පෙර සමූහ දූෂනයට ලක් කළ පුද්ගලයන් පස් දෙනෙකු ඇය නැවතත් දූෂණය කිරීමේ සිදු වීමක් සම්බන්ධයෙන් එරට ජනතා කෝපය පළ වෙමින් තිබේ.

පළමු දූෂණ සිදුවීමෙන් වසර තුනකට අනතුරුව පසුගිය සතියේ උතුරු ඉන්දියාවේ හර්යානා ප්‍රන්න්තයේ රෝහ්තාක් නුවරදී එම සිසුවිය නැවතත් දූෂණයට ලක් වී ඇත.

කෙසේ වෙතත් හර්යානා ප්‍රාන්ත පොලිසිය මේ වන තුරුත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමක් හෝ පරීක්ෂණ ආරම්භ කිරීමක් සිදු කර නොමැත.

අතවරයට පත් වූ සිසුවිය කියා සිටියේ තමන් බලහත්කාරයෙන් මෝටර් රථයක් තුළට ඇතුළු කර ගත් ප්‍රහාරකයන් සිය ගෙල සිර කිරීමට උත්සාහ කළ බවයි.

දැඩි වධ හිංසාවට ලක් වූ තරුණිය බරපතළ තුවාල ලබා සිටියදී මාර්ගය අසල වන ලැහැබක අත්හැර දමා ගොස් ඇති අතර පසුව ඒ අසලින් ගමන් ගත් පුද්ගලයෙකු විසින් ඇය රෝහල් ගත කරනු ලැබ තිබේ.

'සැක කරුවන්ගෙන් තර්ජන'

තරුණිය පළමු වරට දූෂනයට ලක් වී තිබෙන්නේ භිවානි නගරයේදී 2013 වසරේ දීයි.

ඒ අවස්ථාවේ දූෂණ චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් ඇප මත නිදහස් වී ඇති අතර තරුණියගේ දෙමව්පියන් කියා සිටියේ අදාළ සැක කරුවන් විසින් එල්ල කරනු ලැබූ තර්ජන හමුවේ තමන් ජීවත් වූ නිවස හැර දමා රෝහ්තාක් නුවර පදිංචියට පැමිණි බවයි.

"මම විද්‍යාලයෙන් එළියට එනකොට දැක්කා ඉස්සෙල්ලා මට කරදර කරපු මිනිස්සු පස් දෙනා මගේ දිහා බලාගෙන ඉන්නවා, මම හොඳටම බය වුනා, උන් මාව බලෙන්ම කාර් එක ඇතුළට තල්ලු කළා, මගේ බෙල්ල හිර කරන්න උත්සාහ කළා. මගේ තාත්තවයි සහෝදරයවයි මරනවා කියලා දිගින් දිගටම තර්ජනය කළා." දලිත් පීඩිත කුලයට අයත් තරුණිය සිය අත්දැකීම් විස්තර කළාය.

මේ අතර රෝහ්තාක් නුවර විශාල විරෝධතා රැළි පවත්වමින් සිටින කෝප වූ ජනතාව ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් චෝදනා ලද පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.