පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලීම මන්ත්‍රී සම්මානය ජවිපෙට

Image copyright Manthri.lk
Image caption ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලීම මන්ත්‍රීවරුන් පස්දෙනා අතුරින් තිදෙනකුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලීම මන්ත්‍රීවරුන් පස්දෙනා අතරට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් තේරී සිටිති.

මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන manthri.lk වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කළ නවතම මන්ත්‍රී ශ්‍රේණිගත කිරීම අනුවයි, ඒ බව අනාවරණය වෙන්නේ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය, විවාද සඳහා සහභාගීත්වය, ප්‍රශ්න ඇසීම, නීති අණ පනත් සම්මත කරගැනීම සඳහා දක්වන දායකත්වය ආදී කරුණු ගණනාවක් ඔස්සේ අධ්‍යයනය කර මෙම ශ්‍රේණිගත කිරීම නිකුත් කර තිබේ.

මෙවර එම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජනතා හිමිවන්නේ විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට.

අවම දායකත්වය

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ එක්සත් ජාතික පක්ෂයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරු පිළිවෙලින් දෙවැනි හා තුන්වෙනි ස්ථාන හිමිකරගෙන සිටිති.

අගමැති රනිල් වික්‍රමසිංහට සිවු වැනි ස්ථානයත් ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට පස් වැනි ස්ථානයත් හිමි වී තිබේ.

Image copyright Manthri.lk
Image caption ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලීම මන්ත්‍රීවරුන් දස දෙනාගෙන් පස් දෙනෙක්ම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්

පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරකම්වලට අවම දායකත්වය ලබා දුන් මන්ත්‍රීවරුන් ලෙසින් ශ්‍රේණිගත ලැයිස්තුවේ පහළින්ම සිටින්නේ තේනුක විදානගමගේ, සිරිපාල ගම්ලත්, නිශාන්ත මුතුහෙට්ටිගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්.

ඔවුන් පස් දෙනාම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන්.

ශ්‍රේණිගත කිරීම නිර්මාණය කළ වෙරිටේ රිසර්ච් (Verite Research) ආයතනයේ ප්‍රධානී නිශාන් ද මෙල් බීබීසී සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දක්වන අදහසට එකඟවිය හැකිද, නොහැකිද යන්න මෙම ශ්‍රේණිගත කිරීමේදී සලකා නොබැලු බවයි.

'කිසිදු කටයුත්තකට නෑ'

"මන්ත්‍රීවරුන්ට විවිධ අදහස් තියෙන්න පුළුවන්, ඒක ගැටළුවක් නෙවෙයි," ඔහු පැවසීය.

"පාර්ලිමේන්තුව භාවිතා කරනවා කියන්නේ එහි කතාකරන එක විතරක් නෙවෙයි. පෙත්සම් දාන්න පුළුවන්. ලියල ප්‍රශ්න අහන්න පුළුවන්. කල්තැබීමේ විවාද දාන්න පුළුවන්."

වත්මන් පාර්ලිමේන්තුවට වසරකට ආසන්න කාලයක් ගතවී තිබෙන අතර, මේ වනවිට සිය ආසනයේ ජනතාවගේ ගැටළු පෙත්සම් ආකරයෙන් මන්ත්‍රීවරුන් 101 දෙනෙකු ඉදිරිපත්කර තිබෙන බව මන්ත්‍රී ඩොට් එල්කේ (manthri.lk) වෙබ් අඩවියේ නිරීක්ෂණයයි.

මන්ත්‍රීවරුන් 45 දෙනකු එක් ලිඛිත ප්‍රශ්නයක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන අතර මන්ත්‍රීවරුන් 214 දෙනකු අවම වශයෙන් එක් විවාදයකට හෝ සම්බන්ධ වී තිබේ. කිසිදු පාර්ලිමේන්තු කටයුත්තකට සම්බන්ධ නොවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පහක්.

මන්ත්‍රීවරුන් 6 දෙනකු පමණක් සිටින ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් ශ්‍රේණිගත කිරීම් වලින් මෙතරම් ඉදිරියට පැමිණීම ගැන අදහස් දක්වමින් නිශාන් ද මෙල් පැවසුවේ විපක්ෂයට ලබාදෙන පාර්ලිමේන්තු කාලය ලබාගැනීමට අමතරව නිතරම ප්‍රශ්න ඉදිරිපත් කරමින් ක්‍රියාශීලීව කටයුතු කිරීම ඊට හේතු වී ඇති බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේ කටයුතු වලට දක්වන උනන්දුව පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බීබීසී යෙන්